ප්‍රතිශෝධන පෙත්සම් විභාගය නඩු විභාගය නිමා වනතුරු හිටපු ඇමැති ජොන්ස්ටන් රිමාන්ඩ් කිරීමෙන් මහජනතාව අධිකරණය කෙරෙහි තැබූ විශ්වාසය හා ගෞරවයට හානියක් වෙනවා- ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

  👤  2544 readers have read this article !
By mawbima 2018-09-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

වසර 3කට පෙර 2015දී ඇප මත මුදාහළ පසුගිය රජයේ ඇමැතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු එම චෝදනාව යටතේම ඉකුත් 3දා යළි කැඳවා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අධිකරණය කෙරෙහි මහජනතාව තබා ඇති ගෞරවයටත් විශ්වසනීයත්වයටත් බරපතළ හානියක් වනු ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙරේදා (12දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණ විනිසුරු වන ජනක් සිල්වා සහ අචල වෙංගප්පුලි යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ජනාධිපති නීතිඥවරයා එසේ ප්‍රකාශ කර සිටියේ එකී රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයට එරෙහිව පැවැති ප්‍රතිශෝධන පෙත්සම් විභාගයේදීය.

ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත සිය සහාය නීතිඥවරුන් වන සුගත් කල්දේරා සහ නිරාන් ඇන්කටෙල් සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙසේද කීය.
" නිදහසේ වාසය කිරීම" ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්තීන් අතුරින් 13 (1) 13 (2) වගන්ති මඟින් ප්‍රකාශිතවම සහතික කොට ඇති මූලික අයිතිවාසිකමක්. ඒ අනුව යමකු අත්අඩංගුවේ රඳවා තැබිය යුත්තේ එසේ නොකර සිටිය නොහැකි බරපතළ තත්ත්වයකදී පමණක් බව අධිකරණයේද පිළිගැනීමයි.

එහෙත් අවාසනාවකට මෙන් අද මේ රට තුළ පවතින්නේ ඉතාමත්ම දුක්ඛදායක තත්ත්වයක්. විවිධ ඕනෑ එපාකම් මත විශේෂයෙන්ම දේශපාලකයන්ගේ වුවමනාවන් අනුව ඔවුන්ගේ ප්‍රතිවාදීන් බොරු චෝදනා නඟා ඇදගෙන ගොස් නැති නම් තමා වෙතට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට සිරභාරයේ රඳවා තැබීමට පොලිසියත් නීතිපති නිලධාරීනුත් කටයුතු කරනවා. මෙම සේවාදායක හිටපු ඇමැතිවරයා කිහිප අවස්ථාවකදීම ලංකා සතොස නම් ආයතනයෙන් හෝ ලක් සතොස නම් ආයතනයෙන් හෝ මෙම නඩුවට අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ඇණවුම් කර හෝ ලබාගෙන හෝ වෙනත් අයකුට ලබා දීමට ඉල්ලීමක් හෝ සිදුකර නැහැ.

ඇත්තටම සිදුවී ඇත්තේ 2014 පැවැති හදිසි ගංවතුර තත්ත්වයත්් සමඟ උන්හිටිතැන් අහිමි වූ ප්‍රදේශවාසීන්ගේ එදාවේල පිරිමසා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මගේ සේවාදායකයාගේ ආධාරකරුවකු විසින් පසුව මුදල් ගෙවීමේ පදනම මත ලබාගැනීමයි.

එලෙස ලබාගත් ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු මගේ සේවාදායකයාද දැනුවත්ව සිදු කර තිබෙන්නේ ඔහු ප්‍රදේශයේ මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ මන්ත්‍රිවරයා නිසයි. එම ද්‍රව්‍යවලට ගෙවිය යුතු මුදලද පසුව ගෙවා දමා තිබියදී තමයි මේ විදියට මගේ සේවාදායකයා ප්‍රධාන කොට ගනිමින් ඔහුගේ ආධාරකරුවන් ඇතුළුව තිදෙනකුට මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය විසින් මෙම චෝදනා නඟා ඇත්තේ.

රජයේ දේපොළ පනත් යටතට මෙය කිසිදු ආකාරයකින් සම්බන්ධ කළ නොහැකි බැව් 2015දී මගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රිමාන්ඩ් භාරයට පත්කළ අවස්ථාවේ කුරුණෑගල මහාධිකරණයට උගත් නීතිඥ මහත්වරුන් පෙන්වා දීම නිසා ඔහු ඇප මත මුදා හැරීමට 2015 අගෝස්තු 28දා නියෝග කරනු ලැබුවා.
කරුණු එසේ තිබියදී යළිත් චෝදනා සංශෝධනය කරමින් නීතිපතිවරයා 2016 මාර්තු 16දා කුරුණෑගල මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනු කර තිබෙනවා. එමඟින්ද පොදු දේපොළ පනතේ 5 (1) ඡේදය යටතේ ගැනෙන වරදක් සිදුකළ බවට චෝදනා කොට තිබෙනවා.

එහිදීද මහාධිකරණ විනිසුරුවරයා මගේ සේවාදායකයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ 2016 මාර්තු මස 28දායි.

අධිකරණය නියම කළ කිසිදු කොන්දේසියක් කුමන අවස්ථාවකදීවත් කඩ නොකර නියම කරනු ලැබූ පරිදිම මගේ සේවාදායකයා නඩු වාරවලටද සහභාගි වී තිබියදීත් ඉකුත් 3දා (සැප්තැම්බර් 3) නඩු දිනයේදී මහාධිකරණ විනිසුරුවරිය නඩුව කැඳවූ සැණින් "මේ නඩුව එක දිගට විභාග කොට අවසන් කිරීමටයි මා පැමිණියේ. අද සිට එක දිගට නඩුව විභාග කරනවා. සියලුම චූදිතයන් බන්ධනාගාර ගත කර තබා නඩුව විභාග කරනවා. නඩුව අවසන් කර තීන්දුව දෙන තෙක් ඇප දෙන්නේ නෑ" යනුවෙන් ප්‍රකාශ කරමින් මගේ සේවාදායකයාත් සෙසු චූදිතයන් දෙදෙනාත් රිමාන්ඩ් බණ්ධනාගාර ගත කර තිබෙනවා.

මෙය පුදුමාකාර තත්ත්වයක්. ඇප ආඥා පනතේ 7 වැනි ඡේදය අනුවයි ඇය ක්‍රියාකර ඇත්තේ. 14 වැනි ඡේදය ගැන කිසිදු අවධානයක් යොමුකර නැහැ.

යම් සැකකරුවකු එලෙස දිගටම රඳවා තැබීමට අදාළ වන හේතු කාරණාවක් ඇප ආඥා පනතේ සඳහන්ව තිබෙනවා. විනිසුරුවරිය ඒ කෙරෙහි අවධානය යොමු කිරීමකින් තොරව යුක්ති යුක්ත භාවයෙන් තොරව අත්තනෝමතිකව ක්‍රියා කොට තිබෙනවා.

මෙම නඩුවේදී මීට ප්‍රථම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා හමුවේ උගත් නීතිඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කරමින් මෙය පොදු දේපොළ පනත යටතේ නඩු පැවරිය නොහැකි බවට කරුණු තහවුරු කර ඇති බව නඩු වාර්තාවේ තිබියදීත් ඒ කිසිවක් නිරීක්ෂණය නොකොටයි ඇය මෙම නිගමනයට එළැඹී ඇත්තේ. එය නීතියට පටහැනි නිගමනයක් බැවින් එය ඉවත දමා ඔහුට ඇප ලබාදීමට නියම කරන ලෙස ගරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අධිකරණ ක්‍රියාදාමයේදී මෙවැනි තීන්දුවක් ප්‍රකාශ කරන්නේ නම් ඒ පිළිබඳව හේතු කාරණා පැහැදිලි කිරීමක් විනිසුරුවරයා හෝ වරිය විසින් සිදුකළ යුතුව ඇතත් ඒ කිසිවකින් තොරව විනිසුරුවරිය ක්‍රියා කොට ඇති බව ගරු අධිකරණයේ අවධානයට යොමු කරනවා.

2009 - ඉඹ්අ(1), 2001 - ඉඹ්අ(1), 2002 - ඉඹ්අ(2) යන වාර්තාගත පැරැණි නඩු තීන්දු කිහිපයකින්ද කරුණු උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන ලද්දේ එම නියෝගය නීතියට පටහැනි බව එම තීන්දු මඟින් පෙන්වා දෙමින් එකී තීන්දු ඉවත දැමීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ක්‍රියා කොට ඇති බවය.

පෙත්සම් විභාගය නිමා කළ විනිසුරු මඬුල්ල තීන්දුව ලබන සඳුදා (17දා) ප්‍රකාශ කරන බවද දන්වා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon