ජන අරගලයට අසිපතක් වූ ඉන්දික

  👤  2585 readers have read this article !
By mawbima 2018-09-14

ඉන්දික ගුණවර්ධනයන්ගේ උපත සිදුවන්නේ 1943.02.08 වැනි දින ඉන්දියාවේ නිදහස් අරගල භූමියේදීය. එකී උපත හා සබැඳි කතාන්දරයම අරගලය සමඟ මුසුවූවකි. ජීවිතයේ දුක වේදනාව පිළිබඳව මුල්ම සජීවී අත්දැකීම් ඉන්දික ගුණවර්ධනයන් ලබාගන්නේ කුඩා බිලිඳු දරුවකුව සිටි අවධියේදීමය. සිය ශේ‍ර්ෂ්ඨ මවුපිය දෙපළ සමඟ ඉන්දීය සිර මැදිරියට පැමිණි මේ බිලිඳු දරුවා ජීවිත යථාර්ථයේ පවතින කටුකත්වය පිළිබඳ මුල්ම අත්දැකීම් උරුමකර ගන්නා ලදී. වර්තමානයේදී විවිධ උරුමයන් මත දේශපාලනයට ප්‍රවිෂ්ට වන්නන් එහි ප්‍රවිෂ්ටයන් ලබාගන්නේ ඉතා සුවපහසු ප්‍රවේශයන් හරහාය. එනමුත් එවැනි සුවපහසු ප්‍රවේශයන් මත ඇරැඹෙන දේශපාලනයේ පදනම ගැඹුරෙන් මෙන්ම ශක්තියෙන්ද අඩු බව වර්තමාන දේශපාලන ලෝකයේ උදාහරණ රැසක් අපට කියා දේ.

හුදු සම්ප්‍රදායන් තුළ කටයුතු කිරීම පහසු කටයුත්තක් වුවද සම්ප්‍රදායන්ට අභියෝග කිරීම දුෂ්කර අභියෝගාත්මක කාර්යයකි.

ඉන්දික ගුණවර්ධනයන් කොළඹ රාජකීය විදුහලේ සිසුවකුව සිටි අවධියේ ප්‍රථම වරට ජාතික ඇඳුමෙන් සැරසී පාසලට පැමිණීම ඒ අවධියේ රාජකීය විදුහල් සම්ප්‍රදායට සිදුකළ මහා අභියෝගයක් වේ. ඒ අයුරින් කුඩා අවධියේ සිටම සම්ප්‍රදායන්ට අභියෝග කිරීමේ ආත්ම ශක්තිය ඔහු සතුවිය. ජාතීන් අතර සුහදතාවයේ මුල්ම පාඩම රාජකීය විදුහල් පරිසරය තුළින් උකහා ගත් ඉන්දික ගුණවර්ධනයන් ඒ අවධියේ සිංහල මෙන්ම දෙමළ සිසුන් අතරද එක හා සමාන ජනප්‍රියතාවකින් යුතු ශිෂ්‍ය නායකයකු විය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ජර්මනියේ 'ලයිෆ්යිග' සරසවියේදී කෘෂිකර්ම විෂය සඳහා ගෞරව උපාධියක් ලබාගැනීමට ඉන්දික ගුණවර්ධනයන් සමත් වූ අතර එකී සරසවියේ ආසියා, අප්‍රිකා, ලතින් ඇමෙරිකානු ශිෂ්‍ය කමිටුවේ ආසියානු නියෝජිතයා වශයෙන් ක්‍රියාකාරී ශිෂ්‍ය නායක භූමිකාවට පණපොවන ලද අතර එය ඔහු තවදුරටත් ලෝකය පුළුල්ව දැකීමටත් සියලු භේදයන් අමතක කොට මනුෂ්‍යයන් දෙස එකම ඇහැකින් බැලීමටත් හැකි මතවාදීමය වින්තනයක් ගොඩනඟා ගැනීමට හේතු වූ බව පැහැදිලි වේ. එපමණක් නොව ඒ අවධියේ ඔහු මාක්ස්වාදය පිළිබඳව ගැඹුරු විද්‍යාත්මක හැදෑරීමක නිරත වූ අතර සැබැවින්ම ලංකා දේශපාලනයේ මුල් කාලීන මාක්ස්වාදී නායකයන්ට පසුව දෙවැනි පරම්පරාවේ සැබෑ ලෙස මාක්ස්වාදය විද්‍යාත්මකව විග්‍රහ කළ හැකි ප්‍රමුඛතම දේශපාලනඥයා ද ඔහු විය.

ඉන්දික ගුණවර්ධනයන් උසස් අධ්‍යාපනයෙන් පසුව මෙරටට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂක තනතුරක සහ රබර් පර්යේෂණ ආයතනයේ අර්ථ ශාස්ත්‍රඥ තනතුරක නිරත වූ අතර ඔහු පූර්ණකාලීනව දේශපාලනයේ නිරතවීම වෙනුවෙන් ඉහත තනතුරු අතහැර දමන ලදී. අනතුරුව රට පුරා යමින් විවිධ දුෂ්කරතා මැද කම්කරු සටන් මෙහෙයවමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩනැඟීමට මුළු ජීවිතයම කැප කරන ලදී. සැබැවින්ම වර්තමානයේ තනතුරු හඹායමින් ඒ ඔස්සේ සුවපහසු ජීවිතයක බලාපොරොත්තු සපුරා ගැනීමට පොරබදන දේශපාලනඥයන්ට ඉහත ඉන්දික ගුණවර්ධනයන්ගේ චරිතය සැබෑම අභියෝගයක් වන්නේය.

මානව අයිතීන් පිළිබඳ සංකල්පයක් ශ්‍රී ලංකා ශබ්ද කෝෂයේ නොතිබූ 70 දශකයේදී එකී යුගයේ ඇරැඹි 1971 තරුණ කැරැල්ල මර්දනය කළ ආකාරයත්, ඊට සබැඳිව නිර්මාණය වූ අපරාධ යුක්ති කොමිෂන් සභා පනතට එරෙහිවත් ඉන්දික ගුණවර්ධනයන් ඇතුළු සමාජයේ බුද්ධිමත් සිවිල් සමාජ ක්‍රියාධරයන් කිහිප දෙනකුගේ මූලිකත්වයෙන් ප්‍රථම වරට මානව අයිතීන් සුරැකීමේ සංවිධානයක් මෙරට නිර්මාණය කරන ලදී.

එය ශ්‍රී ලාංකික දේශපාලනයට අලුත් අත්දැකීමක් විය. ඉන්දික ගුණවර්ධනයන්ගේ ජීවිතය හා සබැඳිව තිබූ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ ජීවගුණය යළිත් 1980 වැඩ වර්ජනය හා එවකට පැවැති රජය ක්‍රියාත්මක කළ මර්දනකාරී වැඩපිළිවෙළවලට එරෙහිව එකසේ ක්‍රියාත්මක විය. ඒ අවධියේදී යළිත් සමාජයේ බුද්ධිමතුන්, වෘත්තියවේදීන් රැසක් එකතු කරගෙන ඉන්දික ගුණවර්ධනයන් මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් යළිත් බිහිකිරීමට කටයුතු කරන ලදී.

පසුකලෙක ලාංකික ඉතිහාසයේ සිදුවූ මහා ඛේදවාචකයක් වූ '83 කළු ජූලිය' අවසන් වීමත් සමඟම අන්තවාදී ජාතිවාදයට එරෙහිව යුක්තිය සහ සමානාත්මතාව පදනම් වූ පුළුල් මානව අයිතීන් සුරැකීමේ මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඔහු නායකත්වය ලබාදුන්නේය.

ඉන්දික ගුණවර්ධනයන් සිය ජීවිත කාලය පුරාවටම දියත් කළ නොනවතින සමාජ සාධාරණත්වය ගමන් මඟ එවකට පැවැති එජාප රජයට මහත් අභියෝගයක් වූ අතර එබැවින් 1985.11.21 වැනි දින රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. අවුරුදු 02කට ආසන්න කාලයක් විවිධ ශාරීරික සහ මානසික වධහිංසා මැද වැලිකඩ අඳුරු සිර මැදිරියක ජීවිතය ගත කිරීමට සිදු වූ ඉන්දික ගුණවර්ධනයන්ට එයද ජීවිතයේ මහා පන්නරයක් ගෙන දීමට හේතු වූ සිද්ධියක් වූ බව පසුකලෙක ප්‍රකාශ කොට තිබිණි.

සිර මැදිරියෙන් නිදහස් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළේ ක්‍රියාකාරි නායකයකු වෙමින් 1993 පළාත් සභා මැතිවරණයට තරග කොට කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්වූ අතර පසුව පැවැති 1994 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එතැන් සිට ඔහු දැරූ සියලු අමාත්‍ය ධුරයන් හරහා රටට අලුත් නිර්මාණශීලී යමක් එකතු කිරීමට කටයුතු කරන ලදී. ධීවර හා ජලජ අමාත්‍යවරයා ලෙස යල් පැනගිය අණ පනත් යාවත්කාලීන කරමින් ධීවර සමුපකාර සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. මිරිදිය ධීවර කර්මාන්තය පිළිබඳ පෙරළිකාරි අදහස් සහ තීරණ ක්‍රියාත්මක කළ ඔහු ප්‍රථම වරට අප රටේ වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙළක ආරම්භය සටහන් කිරීමට කටයුතු කරන ලදී.

පෞද්ගලිකකරණයට යොමුව තිබූ ධීවර ක්‍ෂේත්‍රයේ රජයේ ආයතන රැසක් යළිත් නැඟිටුවා පණ පෙවීමටද කටයුතු කරන ලදී.

පසුව නාගරික සහ නිවාස ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ 'තිරසර පුරවර වැඩසටහන' කොළඹ නගරයේ ජීවත් වන දිළිඳු ජනතාවගේ නිවාස ප්‍රශ්නය වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ වඩාත් ප්‍රායෝගික සහ ප්‍රගතිශීලී වැඩසටහන් ලෙස ඉතිහාසයට එක්වී ඇත. නගර සංවර්ධනය පිළිබඳව ඉතිහාසයේ පළමුවැනි වතාවට සැලැසුම් සහගත වැඩසටහනක් නිර්මාණය වූයේ මොහු අදාළ අමාත්‍ය ධුරය දරන අවධියේදීය. වර්තමානයේ ක්‍රියාත්මක වන බොහෝ නගර සංවර්ධන ව්‍යාපෘතිවල මුල් සැලසුම්කරුවා වූයේ ඉන්දික ගුණවර්ධනය. උසස් අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාව තුළ බිහිව තිබූ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ආකෘතියට එහා ගිය නව ආකෘතිවල අවශ්‍යතාව වෙනුවෙන් ඔහු විවිධ ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙස අපේ ශිෂ්‍ය සහ තරුණ පරපුරට අලුත් ලෝකය ජය ගැනීමට ‍ෙදාරගුළු රැසක් විවර කර දීමේ නිර්භීත තීන්දු රැසක්ද ගන්නා ලද්දේය.

මැති ඇමැති තනතුරු ලැබූ විට කොළඹ නගරය අතහැර බොරලුගොඩට ගිය ඉන්දික 2015 සැප්තැම්බර් 15 මිය යන තුරුම ප්‍රදේශයේ ජනයා සමඟ පොදු මහජන සේවාවන්හි නිරත විය.


නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon