'මලිඳු පුතා' නැවක හැප්පුණේ කොහොමද: පුළුල් පරීක්‍ෂණයක්

  👤  2609 readers have read this article !
By mawbima 2018-09-14

ඉමදුව - ටී. විතානවසම්, මාපලගම - රසික සෙනෙවිරත්න, පයාගල - සුජිත් මාරියෝ, සංජීව මාණික්කුවාවඩු

ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයන් 04 දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් ජනක ගිනිගේ මහතාගේ උපදෙස් මත පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසයි.

පසුගිය 11දා අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය 'මලිඳු පුතා' නමැති ධීවර යාත්‍රාවකි. අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයන් 07 දෙනකු සිට තිබේ.

ගාල්ල, බේරුවල ධීවර වරායෙන් 2018.09.11 වැනි දින මුහුදු ගිය මලිඳු පුතා නමැති යාත්‍රාවක් අනතුරට පත්ව ඇත. මෙහි ධීවරයන් 07 දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් ධීවරයන් 04 දෙනකු මියගොස් ඇත. දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි. එක් ධීවරයකුගේ ජීවිතය නාවික හමුදාව විසින් බේරාගෙන ඇත. මියගිය ධීවරයන්ගේ දේහයන් හා බේරාගත් ධීවරයා 12 වැනි දින සැන්දෑවේ ගාල්ල ධීවර වරායට ලබාදීමට නාවික හමුදාව කටයුතු කර තිබිණි.

අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන 26 හැවිරිදි එරන්ද පුෂ්පකුමාර මෙම බිහිසුණු සිද්ධියේ අත්දැකීම් මෙසේ විස්තර කළේය.

'නැව අපේ බෝට්ටුවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 09.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. එදා සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයන් හත්දෙනකු ගමන් කළා. ස්කීපර් විදියට කටයුතු කළේ අපේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා. මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රි 12.30 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම. ඊට පස්සේ බෝට්ටුවේ වීල් එක කල්හාර අයියාට දුන්නා. පැයක්වත් ගියේ නැහැ.

මම උඩට ගිහින් නිදාගෙන හිටියේ. එකවරම බෝට්ටුව නැවක වැදිලා පෙරළුණා. මම මුහුදට විසිවුණා. මම පීනලා ඇවිත් බෝට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟට එනකම් දැක්කේ නැහැ. බෝට්ටුවේ ඇතුළේ හිටපු අය හිරවුණා. බෝට්ටුව අනෙක් පැත්ත ගැහුවා. මම උදේ 09.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම්දීලා තිබුණා. පසුව නාවික හමුදාව ඇවිත් මාව බේරගත්තා.'

පෙරළුණු යාත්‍රාවක පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මඟින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබිණි. ඒ අනුව ධීවරයන්ගේ මෘත ශරීර පෙරේදා (12දා) රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන ඒමෙන් පසුව කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.

එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4ක් සොයාගෙන තිබේ.

අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මියගිය ධීවර කාර්මිකයන් සිවුදෙනාගේ මළ සිරුරු කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර ඒවා පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (13දා) කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon