පාසල් යන පුතාගේ ශ්‍රවණාබාධිත උපකරණයට බැටරි ලබා දෙන ලෙස මවකගෙන් ඉල්ලීමක්

  👤  2538 readers have read this article !
By mawbima 2018-09-14

ශ්‍රවණාබාධිතව පසුවෙන තම දරුවා පලඳින උපකරණයට බැටරි කෑලි දෙකක් දැමීමට නොහැකිව දිවා රාත්‍රි පසුතැවිලි වන මවුපිය යුවළක් ගැන ගලේවෙල දේවහුව කිවුලේ ඇළ අංක 2/08 නිවෙසෙන් වාර්තා වේ.

උපතින්ම ශ්‍රවණාබාධිතව පසුවෙන ඔවුන්ගේ සනත් අකලංක නමැති සිය පුතාට කොළඹ රිජ්වේ ළමා රෝහලේදී ශල්‍යකර්මයක් සිදුකර මේ උපකරණය ලබාදී ඇත්තේ 2014 ජනවාරි මාසයේදීය. එදා සිට මේ දක්වා මෙම උපකරණය පාවිච්චි කරමින් සිටින අතර මේ දරුවා මේ වන විට බුලනවැව ප්‍රාථමික විදුහලේ දෙක වසරේ අධ්‍යාපනය ලබයි. එම උපකරණයට සවිකර ඇති බැටරිවල විදුලිය දරා ගැනීමේ ශක්තිය මේ වන විට හීන වී ඇත.

මේ ගැන දරුවාගේ මව වන ඩී.ටී.එච්.ඒ. අනූෂා කුමාරි ජයවර්ධන (30) කඳුළු පිරි දෙනෙතින් අප සමඟ මෙසේ පැවසුවාය

"අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. වැඩිමහල් පුතා උපතින්ම ශ්‍රවණාබාධිතයි. ඔහුට කථන ශක්තියක්ද නෑ. බාල පුතාට වයස අවුරුදු දෙකයි.

සැමියා වන සුජීව සංජීව හේරත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවකු ලෙස රැකියාව කරනවා. මට රැකියාවක් නෑ. වෙන කිසිම ආදායම් මාර්ගයක් අපට නෑ. ශ්‍රවණාබාධිත දරුවා අදාළ උපකරණය පලඳවා පාසල් යවනවා. එහි දැනට ඇති බැටරි 'රීචාර්ජ්' කළ විට පැයක්වත් තියෙන්නේ නෑ. බැටරි බහිනවා. මේ නිසා පාසලේ උගන්වන පාඩම් ඔහුට ඇහෙන්නේ නෑ. ඔහු ඉගෙනීමට දක්ෂ බව ගුරුවරුන් පවසනවා. ඔහුගේ කථන ශක්තිය වැඩි කිරීමට සායනවලට රැගෙන යෑමට සිදුවී තිබෙනවා. ඒ සඳහාත් විශාල මුදලක් අවශ්‍යයි. අපේ අරමුණ පුතා සනීප කරගෙන හොඳ අධ්‍යාපනයක් ලබාදී යහපත් පුරවැසියකු කිරීමයි.
එම බැටරි දෙකේ මිල රුපියල් 90,000ක් පමණ වෙනවා. අපිට ඒවා මිලට ගැනීමට ශක්තියක් නෑ. ඒ සඳහා කවුරුහරි උදවු කරනවා නම් පින් සිද්ධ වෙනවා යැයි පැවසුවාය.

ඒ සඳහා ඇයගේ සැමියාගේ දේවහුව මහජන බැංකුවේ අංක 115200150014611 දරන ගිණුම උපකාර කරගත හැකිය. දුරකථන අංකය 077-7932440

ගලේවෙල _ තිලක් පල්ලේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon