මංගල සාදයක ආහාරවලට විසක් මුසුවෙලා

  👤  2553 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනේ උරුම්පිරායි ප්‍රදේශයේ පැවැති මංගල සාදයක් සඳහා පිළියෙල කරන ලද ආහාරවල විසක් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත 11දා යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් පැමිණ සාදය සඳහා පිළියෙල කරන ලද ආහාර සියල්ලම රැගෙන ගොස් තිබේ.

සාදය සඳහා පිළියෙල කරන ලද ආහාර මුලින්ම අනුභව කොට ඇත්තේ රියැදුරකු විසිනි. ඔහු හදිසි ගමනක් යෑමට අවශ්‍ය නිසා ඉක්මනින් ආහාර ගෙන යෑමට පිටත් වීමට සූදානම් වුවත් ඔහු ඉතා ඉක්මනින් අසනීප වී ක්ලාන්ත ගතියකට පත්ව තිබේ.

එය දුටු තවත් රියැදුරකු ආහාරවලින් ස්වල්පයක් අසල වූ බල්ලකුට කන්න දී ඇතත් බල්ලා ආහාර නොගැනීම නිසා වහාම ඒ බව යාපනයේ වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දී තිබේ.

එම ස්ථානයට පැමිණි නිලධාරීන් ආහාර සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී ආහාරවලට යම් විසක් කලවම් වී ඇති බවට හඳුනාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ආහාර සියල්ලම රැගෙන ගොස් තිබේ.

යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ නිලධාරීන්ට කවරකු හෝ කල්වේලා ඇතිව මෙම ආහාර පිළිබඳව තොරතුරු දැනුම් දීම නිසා සිදුවන්නට ගිය මහ විනාශයක් වැළකී ගිය බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පසුව විවාහ මංගල උත්සවයේ පිරිස දැඩි අපහසුතාවකට පත්ව යාපනයේ විවිධ ස්ථානවලින් ආහාර එකතු කොට අමුත්තන්ට දිවා ආහාර ලබා දෙන විට පස්වරු හතර පමණ වී තිබිණි.
ආහාර හා ආහාර පිළියෙල කළ පිරිස සම්බන්ධයෙන් යාපනයේ සෞඛ්‍ය අංශ වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon