උෟව -වෙල්ලස්ස-බින්තැන්නේ ඉඩම් කොල්ලයට එරෙහිව ලෙයින් අස්සන් තබන මහජන පෙත්සමක් හෙට (15දා) දෙහිගමදී අරඹති

  👤  2616 readers have read this article !
By mawbima 2018-09-14

අනුරාධා හේරත් ,පදියතලාව - චන්දන කුමාර

මහජන මතයට පිටුපාමින් උෟව - වෙල්ලස්ස - බින්තැන්නේ ඉඩම් බහුජාතික සමාගමකට උක් වගාවක් සඳහා ලබාදීමට විරෝධය පළ කර උෟව - වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ සංවිධානය කළ ලෙයින් අස්සන් තැබීමේ මහජන පෙත්සමකට හෙට (15දා) උදේ 9.00 සිට ඇකිරියන්කුඹුර දෙහිගම හේන් යායේදී අස්සන් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

ආණ්ඩු කිහිපයක්ම වාර කිහිපයකදී බහුජාතික සමාගම් කිහිපයකම මෙම දෙහිගම ඉඩම් පවරාදීමට කටයුතු කර ඇත. ඒ සෑම අවස්ථාවකදීම උෟව - වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ ප්‍රමුඛ කොට ගත් ජනතා විරෝධය හමුවේ එම උත්සාහයන් හකුළා ගැනීමට සිදුවිය.

මෙහි ආසන්නතම සිද්ධිය වූයේ පසුගිය 06 වැනිදා සීනි කම්හල ඉදිකරන භූමිය ඩෝසර් කිරීමට සැරසුණු අවස්ථාවේ මහජන විරෝධය හමුවේ එය අතහැර දැමීමට සිදුවිය.

හෙට (15දා) ආරම්භ කරන ලෙයින් අස්සන් තබන මහජන පෙත්සමට අස්සන් ලක්ෂයක් ලබා ගැනීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට භාරදීමට නියමිතය.

උෟව - වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු ජවිපෙ පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න 'මව්බිම'ට පැවැසුවේ මෙම ඉඩම් අක්කර 62,500 උක් වගාවක් සඳහා ගැසල් වෙන්චර්ස් නමැති සිංගප්පූරු සමාගමට පැවැරීමට ආණ්ඩුව සූදානම් බවය.

මෙම ඉඩම් කොල්ලයට එරෙහි ප්‍රධාන ඉල්ලීම් 3ක් ඇති බව පවසන විද්‍යාරත්න මහතා කියා සිටියේ බහුජාතික සමාගමට ඉඩම් ලබාදීම වහා නැවැත්වීමත්, ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට ඔප්පු ලබාදීමත් ඒ අතර මූලික බව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon