ඓතිහාසික මුහුදු මහා විහාරය ආසන්නයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරමක්

  👤  2761 readers have read this article !
By mawbima 2018-09-14

පානම්පත්තුවේ - මුදියන්සේ අත්තනායක

පොතුවිල් මුහුදු වෙරළ යාබදව ඓතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැඟෙනහිර දෙසින් පිහිටා ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඓතිහාසික මුහුදු මහා විහාරස්ථානයට අයත් බව කියන වැලිකඳු විනාශ කරමින් පරිසරයට හානි වන අයුරින් ලඳු කැලෑ කපා විනාශ කර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දමා තිබූ සීමාවන් ගලවා විනාශ කරමින් නීති විරෝධී අයුරින් වැටමායිම් දමා ඉඩම් අත්පත් කරගැනීමේ මහාපරිමාණ ජාවාරමක් සිදුවන බවත් වැලි වැලිකඳුවලට හානි වන අයුරින් මහාපරිමාණ වැලි ජාවාරම් සිදුවන බවත් පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියෝ පවසති.

මේ වන විට ඓතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැඟෙනහිරින් මුහුදු වෙරළේ සිට මීටර් පනහකටත් අඩු දුරකින් ස්වාභාවිකව පිහිටි විශාල වැලි කඳු විනාශ කරමින් සිදුවන ඉඩම් අත්පත් කර ගැනීමේ ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් දැනුවත් කළද මෙතෙක් අවධානය යොමු වී නොමැති පවසන්නේ ඉතාමත් කනගාටුවෙන් බව විහාරාධිපති හිමියන් පැවැසීය.

මීට ඉහතදීත් මෙම ස්ථානවල මේ ආකාරයට වගකිව යුතු ආයතන දැනුවත්ව වැලි ජාවාරම්, ඉඩම් ආක්‍රමණ, පැල්පත් ඉදිකිරීම් සිදුකළද වගකිවයුතු අංශ ඒ පෙදෙස් තහනම් කර, සීමා මායිම් දමා තිබූ සීමාවන් විනාශ කර, නීතිරීති උල්ලංඝනය කරමින් මෙම මහාපරිමාණ වැලි ජාවාරම හා ඉඩම් ආක්‍රමණය සිදුවන බවයි.

මෙම පෙදෙස ඓතිහාසික මුහුදු මහා විහාරස්ථානයට සීමා කර තිබෙන භූමියේ පිහිටා තිබීම නිසා මෙහි ඓතිහාසික නටබුන් තිබිය හැකි බව විහාරාධිපති හිමියෝ පවසති. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මේ විහාරස්ථානය හා අවට ගම්මානවල මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා වුණේ මේ වැලි කඳු නිසා බවත්, මේවා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීම බවත්, මේ සම්බන්ධ වගකිවයුතු අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත්, පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර මේ භූමිය ආරක්ෂා කර දෙන ලෙස ඓතිහාසික මුහුදු මහා විහාරාධිපති හිමියෝ ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon