විදුලිබල පනත හදිසියේ සංශෝධනය කර පාර්ලිමේන්තුවෙන් බලාත්මක කර ගැනීමට විදුලිබල බලධාරීන් දැඩි උත්සාහයක-ලංවිම පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ

  👤  2760 readers have read this article !
By mawbima 2018-09-14

හර්ෂනී අර්සකුලරත්න

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය රහිතව හදිසි විදුලි මිලදී ගැනීම් ලංවිමට අවශ්‍ය ආකාරයෙන් සිදු කරගැනීම සඳහා විදුලිබල පනතට හදිසි සංශෝධනයක් ගෙනැවිත් එය පාර්ලිමේන්තුව හරහා බලාත්මක කර ගැනීමට විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංවිම බලධාරීන් දැඩි පරිශ්‍රමයක නියැළෙන බව ලංවිම වෘත්තීය සමිති චෝදනා නඟති.

මේ පනත සංශෝධනය කර ගැනීම සඳහා විදුලි බලධාරීන් මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක වෙමින් කැබිනට් අනුමැතියද ලබාගෙන ඇති බව ලංවිම පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ පැවැසුවේය.

මෙතෙක් එවැනි මිලදී ගැනීම්වලදී ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍යව තිබෙන බවත් එවැනි නියාමනයක් යටතේ වුවද මේ වන විටත් ලංවිම තුළ නීත්‍යනුකූල නොවන අයුරින් සිදුවන මිලට ගැනීම් හේතුවෙන් ලංවිම වැය කරන ධනය අති විශාල බවද ඔහු පැවැසුවේය.

එවැනි වාතාවරණයක් තුළ බලධාරීන් මෙවැනි සංශෝධනයක් ගෙන එමින් උත්සාහ දරන්නේ කිසිදු නියාමනයකින් තොරව විදුලි මිලට ගැනීම් අවශ්‍ය පරිදි සිදුකර ගනිමින් මහජන මුදල් නිකරුණේ රටට අහිමි කර දැමීම බවත් ඔහු සඳහන් කළේය. නියාමනයක් පවතින විටදීත් රුපියල් බිලියන ගණනේ දැවැන්ත මූල්‍ය වංචා සිදුවන ලංවිම ගනුදෙනු නියාමනයන් නොවන තැනට පත් වුවහොත් කුමකින් කුමක් සිදුවේද යන්න පවා අනුමාන කළ නොහැකි බවද හෙතෙම පැවැසීය. එම සංශෝධනය බලාත්මක වුවහොත් රටටම දරාගත නොහැකි විදුලි මිලදී ගැනීම් සිදුවී අවසාන ප්‍රතිඵලය ලෙස විදුලි බිල ඉහළ දැමීම හැර අන් විකල්පයක් බලධාරීන්ට ඉතිරි නොවනු ඇති බවද ඔහු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon