විදුලිබල ලේකම් ජාතික ආර්ථික සභාව නොමඟ යවන්න හදලා

  👤  3404 readers have read this article !
By mawbima 2018-08-20

ලංකා විදුලිබල මණ්ඩලයට හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා මීට මාස හතරකට පෙර ගිවිසුමකට එළැඹුණු ආයතනයකින් නැවතත් විදුලිය මිලදී ගැනීමට යැයි කියමින් යළි ගිවිසුම්ගත වීම අරමුණින් ජනාධිපති ලේකම්වරයා හරහා ජාතික ආර්ථික සභාව නොමඟ යැවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

විදුලිබල ලේකම්වරයා ඉහත ඉල්ලීමද ඇතුළත්ව හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා තවත් ආයතන දෙකක නම්ද සඳහන් කරමින් ඒ සඳහා ජාතික ආර්ථික සභාවේ මැදිහත්වීම ලබා දෙන ලෙස පසුගිය අගෝස්තු 06 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එකී එස්. පවර් (ඇඹිලිපිටිය) ආයතනයෙන් මෙගාවොට් 100ක්ද, එස්. පවර් (මාතර) ආයතනයෙන් මෙගාවොට් 24ක්ද, ඒසියා පවර් (සපුගස්කන්ද) ආයතනයෙන් මෙගාවොට් 51ක්ද එලෙස ඉදිරි වසර තුනකට විදුලිය ලබා ගැනීම සඳහා ජාතික ආර්ථික සභාවේ අනුමැතිය ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල ලේකම්වරයා ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත.

එසේ වුවද හදිසි විදුලිය මිලදී ගැනීම් පිළිබඳව කටයුතු කරන ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිජනන අංශයේ සැලසුම්වල මෙවැනි හදිසි විදුලිය මිලට ගැනීමේ අවශ්‍යතාවක් ගැන සඳහන් නොවීමද විමතියට දනවන කරුණක් බව එහි ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

විශ්‍රාම යෑමට ආසන්නව සිටින විදුලිබල ලේකම්වරයා මේ අයුරින් වගකීම් විරහිතව කටයුතු කරමින් ජාතික ආර්ථික සභාව නොමඟ යැවීමට කටයුතු කිරීම විමතියට කරුණක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon