දහසේ හොර නෝට්ටු 70ක් මුද්‍රණය කළ

  👤  3438 readers have read this article !
By mawbima 2018-08-20

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මුද්‍රණය කරනු ලබන රුපියල් දහසේ මුදල් නෝට්ටුවට සමාන අන්දමින් ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ නිවෙසක් වටලා රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 70ක් සහ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ කිහිපයක් සමඟ 20 හැවිරිදි තරුණයකු ගලෙන්බිඳුණුවැව පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් අනතුරුව පෙරේදා (18දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පඩිකාරමඩුව, කුරුණෑගල, කොළණිය ලිපිනයේ පදිංචි 20 හැවිරිදි සැකකරු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකාර තරුණයා මීට පෙර අවස්ථා කිහිපයකදීත් විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වී අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුගේ නිවෙසේ නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත නිවෙස වටලා කළ පරීක්ෂාවේදී නිවෙසේ කාමරයක තිබී එකම අංකය සහිත රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 70ක් පොලිසිය සොයාගෙන තිබූ අතර, සැකකරුගෙන් ඒ පිළිබඳව වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී මුදල් නෝට්ටු භාවිතයට යොදාගත් ස්කෑනරය සහිත නවීන පන්නයේ ලේසර් ප්‍රින්ටර් යන්ත්‍රක්, තීන්ත හා සැකකරු භාවිත කළ ජංගම දුරකථන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැටලීම සිදුකිරීමත් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ ජාවාරමට සම්බන්ධ බවට සැකකරන තවත් පුද්ගලයකු පලාගොස් ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් මුදල් නෝට්ටු සියල්ලම මහ බැංකුව මඟින් නිකුත් කළ මුදල් නෝට්ටු අංක 206/ඵ 510942 යටතේ මුද්‍රණය කොට ඇති බවත් එවැනි මුදල් නෝට්ටු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශය තුළ වැඩි වශයෙන් සංසරණය වන බවට තොරතුරු ලැබී ඇති බවත් දහසේ මුදල් නෝට්ටුවලින් ගනුදෙනු කිරීමේදී එහි මුද්‍රිත අංකය හා මුදල් නෝට්ටුවල වර්ණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් පොලිසිය මහජනතාවට අවධාරණය කරයි. මෙම මුදල් නෝට්ටු මුද්‍රණයට ගෙන ඇති කඩදාසි වර්ගය සත්‍ය මුදල් නෝට්ටුවට වඩා ඝනකමින් වැඩි බවත් එහි දිය සලකුණු නැති බවත් පොලිසිය පවසයි.

මීට පෙරත් ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු සංසරණය වන බවට ගලෙන්බිඳුණුවැව පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනුව ගෙලන්බිඳුණුවැව සති පොළේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටුවක් මාරු කිරීමට තැත් කළ ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි වයස 50 හැවිරිදි කාන්තාවක් සමඟ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක විමලරත්න, පොලිස් සැරයන් සිරිවර්ධන (22875), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (24602), හේරත් (38663), රසික (53273), පොලිස් සහායක සේනාරත්න (2453) යන නිලධාරීන් මෙම වැටලීම කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon