දුම්රිය වෘත්තීය සමිති ජනපති හමු වෙයි

  👤  3420 readers have read this article !
By mawbima 2018-08-20

උපතිස්ස පෙරේරා

දුම්රිය රියැදුරු ඇතුළු වෘත්තීය සමිති හතරක් විසින් ඉල්ලා ඇති වැටුප් වැඩි වීම් පිළිබඳ අදාළ බලධාරීන් හා සාකච්ඡා කොට ලබන 23 වැනි දින තීරණයක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (18දා) එම වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන්ට දැනුම්දී තිබේ.

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳ කැබිනට් අනුකමිටුවක් පත්කර ඇති බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ඒ පිළිබඳවද අවධානය යොමුකළ යුතුව ඇතැයිද සඳහන් කර තිබේ.

තම වැටුප් වැඩි කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ඉකුත් 14දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ඉකුත් 15දා පස්වරු 3.00ට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොවර ඇරැඹූ වැඩ වර්ජනය හේතුවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් හා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ද දැඩි පීඩාවකට ලක්වූහ. කෙසේ වුවද සේවය කිරීමට කැමැති රියැදුරන් කිහිප දෙනකුගේ සහාය ලබාගෙන දුම්රිය බලධාරීහු දුම්රිය 8ක් ධාවනය කිරීමට පියවර ගත්හ.

මෙම වර්ජනය හේතුවෙන් දැඩි කෝපයට පත් ජනතාව ඉකුත් 8දා පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රහාරයක් එල්ලකළ අතර මාධ්‍ය හා සමාජ වෙබ් අඩවි ඔස්සේ ජනතාව ඔවුන්ට දැඩි විරෝධය පළ කළහ. මෙම පසුබිම යටතේ තවදුරටත් වර්ජනය ඉදිරියට ගෙන යෑමට නොහැකි තැන වෘත්තීය සමිති නියෝජිතයන් ඉකුත් 12දා පොළොන්නරුවේ ජනාධිපති මන්දිරයට ගොස් මේ සඳහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එහිදී ජනාධිපතිවරයා ඔවුන්ගේ වර්ජන ක්‍රියාවලිය දැඩි දෝෂදර්ශනයට ලක්කර මේ පිළිබඳ සොයා බලා විසඳුමක් ලබාදෙන බව දැන්වීමෙන් පසු එදින රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවා ඔවුහු සේවයට වාර්තා කළහ.

කෙසේ වුවද ඔවුන්ට වැටුප් වැඩි වීම් ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී නොමැතිවා පමණක් නොව, ඒ පිළිබඳව මාධ්‍යට හෝ ප්‍රකාශයක් කර නොමැති බව ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව පැවැති දිනට පසුදින (13දා) ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon