මහින්දට රනිල්ට මෛත්‍රිට බැන්නා කියලා අපට ලැබෙන දෙයක් නෑ

  👤  3588 readers have read this article !
By mawbima 2018-08-20

අද මේ රටේ සමාජ, ආර්ථිකය පමණක් නෙවෙයි දේශපාලනයත් මුළුමනින්ම පිරිහිලා ගිහිල්ලා. රුපියල් කෝටි ගණනක් වැය කරන පාර්ලිමේන්තුවෙ දවස ගාණෙ රණ්ඩු කරගන්නවා. කථානායකවරයාත් 'ලොන්තපෝල්' කියන දේශපාලනඥයන් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා මීගහතැන්නේදී කීවේය.

ටිල්වින් සිල්වා මහතා මෙසේද කීවේය.
රටේ උත්තරීතරම ආයතනය තුළ කතා වෙන්නෙ මොනවාද? 'ලොන්තපෝල්' කියන එකේ තේරුම මම නම් දන්නෙ නැහැ. නමුත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා කථානායකවරයාට බැන්නෙ එහෙමයි. දේශපාලනය ඒ තැනට පිරිහිලා. ඒ වගේම දේශපාලනඥයන්ගෙන් එක්කෝ හොරු. නැත්නම් වංචා කාරයෝ. නැත්නම් අපරාධකාරයෝ.

දේශපාලනයට සාපේක්ෂව සමාජයත් පිරිහිලා. අපරාධ වැඩිවෙලා. හොරකම් වැඩිවෙලා. දිවි නසාගැනීම් වැඩිවෙලා. කලින් තිබුණ රට අපට දැන් නැහැ කියලා තේරෙනවා. අපේ රටේ දරුවකුට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා. රට වටේටම පාතාලය පැතිරිලා. මත්ද්‍රව්‍ය පැතිරිලා. සදාචාරය අන්තයටම පිරිහිලා.

අපි හම්බකර ගත්තොත් අපිට කන්න පුළුවන් කියලා හිතපු කාලෙ ඉවරයි. අපි හම්බ කරනවද? නැද්ද? අපි කනවද නැද්ද කියලා තීරණය කරන්නෙ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. මේ විදියට අපට ඉදිරියට යන්න බැහැ. රටක් ලෙස ඉදිරියට යෑමට නොහැකියි. ඒ නිසා මේ රටේ විද්වත් වෘත්තිකයො පිරිසක් මේ ඛේදවාචකය ගලවා ගැනීමේ ලොකු සංවාදයක නිරත වෙලා ඉන්නවා. මේ අය කවුරුත් දේශපාලනය කළ අය හෝ දේශපාලනය කරන අය නෙවෙයි.

මේ පිරිස පසුගිය 14දා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී රැස්වුණා. ඒ සමුළුවට අපටත් ආරාධනා ලැබුණා. ඒ සමුළුවට රටට අවශ්‍ය ප්‍රතිපත්ති හැදීමට තීරණයක් ගත්තා. ප්‍රතිපත්ති හැදුවත් ඒවා ක්‍රියාවට නැඟිය යුතුයි. ඒ සඳහා ජනතා බලවේගයක් ගොඩනැඟිය යුතුයි. ලබන වසරේ මුල් මාස කීපයේදී මේ ප්‍රතිපත්ති එළිදක්වනවා. ඊට පෙර ජනතා අදහස් ලබාගෙන ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් සකසනවා. ඒ වගේම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උපරිම සහාය ජනතා විමුක්ති පෙරමුණ ලබාදෙනවා.

මේ රටේ දුක් මහන්සි වෙන මිනිසුන්ගේ අතේ සතේ නැති වුණත් කිසිම මහන්සියක් නොවන අපේ රටේ පිරිසකගේ අතේ රුපියල් කෝටි ගණනක් තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහත්තයට බැන්නට අපට මොනවත් ලැබෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහට, මෛත්‍රිපාල සිරිසේන මහත්තයට බැන්නට අවලාද නැඟුවට අපට වැඩක් වෙන්නේ නෑ. ඒ වගේම එයින් රටට යහපතක් වෙන්නෙත් නැහැ. මේක පුද්ගල ප්‍රශ්නයක් නෙවෙයි. මේක අවුරුදු 70ක් පුරා අපේ රටේ තියෙන ප්‍රතිපත්තිමය වරදක්. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. දේශපාලනයේ වරද නිවැරැදි කරගත යුතුයි. අපි මාරු කළ යුත්තේ මුහුණු නෙවෙයි. මාරු කළ යුත්තේ පක්ෂ නෙවෙයි. අපි මාරු කළ යුත්තේ මේ වැරැදි ක්‍රමවේදය. මේ වැරැදි ආර්ථික ක්‍රමය, මේ වැරැදි සමාජ රටාව ආදියයි. ඒ වෙනස කළ ආණ්ඩුවක් සකස් කළ යුතුයි. ඒක කළ හැකියි. ඒ මඟ ඇර වෙනත් මඟක් නැහැ. අලුත් හොරු වෙනුවට පරණ හොරු ගෙනත් දාගෙන මේ රටට හොඳක් වෙන්නෙ නැහැ. ජනතාවට සෙතක් වෙන්නෙත් නැහැ. වසර 70ක් කරපු මේ විනාශකාරී මාවතේම යනවද? එහෙමත් නැත්නම් වැටිච්ච වළෙන් ගොඩ එනවද කියලා සිතිය යුතුයි.

වැටුණු වළ තව ගැඹුරු කරගන්න අවශ්‍ය නම් ඒකට අර සෙට් එක ඉන්නවා. ඒගොල්ලන්ට ආයෙත් දුන්නොත් ඒක වෙනවාමයි. වළෙන් ගොඩ එන්න නම් අලුත් මඟක යා යුතුයි. ඒ සඳහා මෙතෙක් කල් දේශපාලනය නොකළ උගත්තු බුද්ධිමතුන්, විද්වතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් තම නිහැ¾ඩියාව බිඳලන තීන්දුවක් ගෙන ප්‍රතිපත්ති හදලා ඒවා ක්‍රියාත්මක කරලා රටක් ලෙස ඉදිරියට ගෙනයෑමට මේ රටේ බුද්ධිමතුන් ආචාර්ය, මහාචාර්යවරුන් සූදානම් වෙලා ඉන්නවා.

අප කළ යුත්තේ ජනතා බලය එක්තැන් කර ආණ්ඩුවක් හදලා ඒ පිරිසට දේශපාලන නායකත්වය ලබාදීමයි. මේ රට වෙනස් කිරීමට නම් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව වෙනස් විය යුතුයි. එය අපට කළ හැකියි. එසේ නොකළහොත් අපේ රටේ අනාගත දරු පරපුරට ජීවත් වෙන්න රටක් නැතිව යනවා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon