වයඹට නිල් දියවර

  👤  3419 readers have read this article !
By mawbima 2018-08-20

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියට අනුව හක්වටුණ ඔය ජලාශය යටතේ හෙක්ටයාර් 2500කට පමණද මී ඔය ජලධාරා පද්ධතියේ කුඩා වැව් යටතේ හෙක්ටයාර් 3,500ක්ද ඇතුළුව ප්‍රදේශයේ මුළු ගොවිබිම් හෙක්ටයාර් 12,500කට පමණ යල මහ දෙකන්නයේදීම හිඟයකින් තොරව වාරි ජලය ලබාදීමට හැකි යැයි වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ නේවාසික ඉන්ජිනේරු ඩබ්.එල්.එච්.එම්.ටී. බණ්ඩාර 'මව්බිම'ට පැවැසීය.

මෙම ව්‍යාපෘතිය මඟින් ආශ්‍රිත ප්‍රදේශය තුළ පිහිටා ඇති කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් පෝෂණය කෙරෙන අතර ඇතැම් ප්‍රදේශවල දැනට පවතින වකුගඩු රෝගය සඳහාද හේතුවන උග්‍ර පානීය ජල ගැටලුවලට පිළියම් ලැබීම හා ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට නව රැකියා අවස්ථා උදාවීමට සිදුවන බවද බණ්ඩාර මහතා පැවැසුවේය.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරැඹීම සඳහා ග්‍රාමීය වැව් 2,400ක් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය 13 සහ 14 යන දිනවලදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට එක්වෙමින් ඩබ්ලිව්. එල්.එච්.එම්.ටී. බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මහවැලි දියවර කුරුණෑගල හා මාතලේ දිස්ත්‍රික්කයන් වෙත හැරවීමේ වාරි ව්‍යාපාරය වන වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ඇරැඹීම සහ කෘෂිකර්මාන්තයට දියවර සපයන වැව් 2,400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ රාජ්‍ය උත්සවය ලබන 24දා පොල්පිතිගමදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන 'වයඹ ඇළ ව්‍යාපෘතිය' මී ඔය ඉහළ ජලධාරා පෝෂක ප්‍රදේශයට හා හක්වටුණ ඔය ජලාශයට මහවැලි ජලය හරවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පිහිටි වැව් ගණනාවක් පෝෂණය කර කෘෂි කර්මාන්තය නඟා සිටුවීමටත්, ජල හිඟය හේතුවෙන් ඇති වන පීඩාවන් අවම කිරීමත් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ව්‍යාපෘතිය නිමවීමෙන් පසුව මහවැලි ජලය අක්කර අඩි 105,000ක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් උතුරු ප්‍රදේශයට ලබාගැනීමට හැකි වේ.
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,000ක් පමණ ඇස්තමේන්තු කර ඇති අතර 2024 දක්වා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් නේවාසික ඉන්ජිනේරු ඩබ්ලිව්. එල්.එච්.එම්.ටී. බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2017 වසරේදීයි. දැනට මෙම ව්‍යාපෘතියේ කටයුතු 50%ක් පමණ අවසාන වී තිබෙනවා. අලුත් සොරොව්වක් ඉදිකිරීම, නව ඇළ මාර්ගයක් ඉදිකිරීම සහ වෑමැඩිල්ල දේවහුව ඇළ මාර්ගයට එය සම්බන්ධ කිරීම වැනි වැඩ කොටසක් මීට ඇතුළත්.

දේවහූවට ජලය සපයන ඇළ මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කරල එම ඇළ කොන්ක්‍රීට් නිර්මිතයක් විදියට සකස් කරලා ජලපාලන නිර්මිත සකස් කරමින් එහි ඉදිකිරීම් කටයුතු දැන් ක්‍රියාත්මක වෙමිනුයි පවතින්නේ. ඊට අවශ්‍ය මූලික දේවල් මේ වන විට සකස් කරලයි තිබෙන්නේ. ව්‍යාපෘතියට අදාළ ඉඩම් අත්පත් කරගැනීම, ඊට අවශ්‍ය වන්දි මුදල් ප්‍රදානය වැනි කාරණා පිළිබඳ කටයුතු මේ වන විට අවසන් කරලයි තිබෙන්නේ. ඊට අමතරව වනජීවීන් ජීවත් වන ප්‍රදේශවලින් මෙම ව්‍යාපෘතිය වැටී තිබෙනවා. එම සතුන්ට හානියක් නොවන ආකාරයට මෙම ව්‍යාපෘතිය ඉදිකරන්නට අප සූදානම්.

වසර 2016 සිට 2019 දක්වා කාල සීමාව තුළ වෑමැඩිල්ල ජලාශය ආශ්‍රිත ඉදිකිරීම්ද නාලන්දා ජලාශයේ ජලය වෑමැඩිල්ල හරහා මහකිතුල වැව දක්වා රැගෙන ඒමට අවශ්‍ය ඇළ මාර්ග ඉදිකිරීමේදී සිදු කිරීමට නියමිතයි. එමෙන්ම කහල්ල පල්ලෙකැලේ පිහිටි මහකිතුල වැව හා මහකිරිඋල යන වැව් අලුතින් ඉදිකර සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමද මෙම අදියර යටතේම සිදු වෙනවා.

2019 සහ 2024 දක්වා කාල සීමාව තුළ මහකිතුල හා මහකිරිඋල වැව්වලට හැරවූ මහවැලි ජලය අලුතින් ඉදිකරනු ලබන ඇළ මාර්ග ඔස්සේ ඉහළ මී ඔය ජලධාරා පද්ධතියේ කුඩා වැව්වලටත් පොතුවිල මැඩියාව වැව සහ මැඩියාව ද්‍රෝණියේ කුඩා වැව් පද්ධතියටත් අබකොළ වැව අතරගල්ල සහ පාළුකඩවල ජලාශ සඳහාත් හක්වටුණ ඔය ද්‍රෝණි ප්‍රදේශයටත් හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් ගණනාවක් පෝෂණය කිරීමටත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතයි.

දඹුලු ඔයේ ජලය වෑමැඩිල්ල දක්වා හැරවීමට අවශ්‍ය ඇළ මාර්ගය හා ජල හැරවුම් නිර්මිත ඉදිකිරීමද මෙම කාලසීමාවේදී සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව සකස් කරන ලද ලිපියකි

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායාරූප - ඒශාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon