වැලිගොඩ දැමීම මඟින් රජයට සිදු කළ කෝටි 800ක පාඩුවක් ගැන FCID පැමිණිල්ලක්

  👤  3406 readers have read this article !
By mawbima 2018-08-20

මනම්පිටිය - නිමල් ජයරත්න

වසර තුනක් තුළදී දිඹුලාගල හා වැලිකන්ද ප්‍රදේශයේ වැලි ගොඩදැමීමෙන් රජයට රුපියල් කෝටි 800ක මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකර ඇති බවට පවසමින් භූ විද්‍යා හා පතල් කැණීම් අංශයේ තාක්ෂණ සේවා පෞද්ගලික සමාගම මෙන්ම දේශපාලන අත්උදව්කරුවන් වග උත්තරකරුවන් ලෙස නම් කොට මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව "සුරකිමු වැලිකන්ද" ප්‍රජා සංවිධානයේ සභාපති බී.කේ. නිශාන්ත මහතා පැවැසීය.

මාස 6ක කාලයකදී තම සංවිධානය කරන ලද සමීක්ෂණයකට අනුව අදාළ මූල්‍ය වංචාව පිළිබඳව සියලු සාක්ෂි මෙන්ම වීඩියෝ දර්ශනද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට, පොලිස්පතිතුමාට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට, භූ විද්‍යා හා පතල් අංශයේ සභාපතිතුමන්ටද ලබාදී ඒ පිළිබඳ පැමිණිලි පිටපත් භාරදුන් බවද නිශාන්ත මහතා සඳහන් කළේය.

අදාළ පෞද්ගලික සමාගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගත හැකි කෝටි 800 මුදල රජයේ ඇතැම් නිලධාරීන්ගේ කූට උපක්‍රම යොදා වැලි කම්කරුවන් සහ ටිපර් රථ හිමියන් මුළා කරමින් සිදුකර ඇති මෙම මූල්‍ය වංචාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම මුදල රජයට ලබාගෙන ජනතා සංවර්ධනයට යෙදවීම සුරකිමු වැලිකන්ද ප්‍රජා සංවිධානයේ අරමුණ බවද එම ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

වැලිකන්ද, වඩුමුනේ මාදුරුඔය, අරලගංවිල, 8 කණුව, නිදන්වල සහ මනම්පිටිය යන වැලිගොඩ දැමීමේ මධ්‍යස්ථාන හතරේ වැලිමංකඩ 800ක වැලිගොඩ දමන කම්කරුවන් විශාල පිරිසකට අර්ථ සාධක මුදල් බැර නොකර වැලි ටිපර් සඳහා ටෝගන් ලබාදීමේදී මෙන්ම ඔවුන්ගෙන් කප්පම් ලබා ගැනීම තුළ මෙම මූල්‍ය වංචාව සිදුව තිබෙන බවද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

"සුරකිමු වැලිකන්ද" ප්‍රජා සංවිධානය මඟින් මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම මූල්‍ය වංචාව පිළිබඳව "ජනපතිට කියන්න" වෙබ් අඩවිය ඔස්සේද ජනාධිපති මාධ්‍ය අංශයට, මහවැලි හා පරිසර අමාත්‍යාංශයට, පොළොන්නරුව කම්කරු කාර්යාලයට, භූ විද්‍යා හා පතල් කැණීම් අංශයට මෙන්ම වගකිවයුත්තන්ට ලිඛිතව දැනුවත් කළද ඊට පිළිතුරු නොමැති නිසා තම සංවිධානය මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද සුරකිමු වැලිකන්ද සංවිධානයේ සභාපති කේ.බී. නිශාන්ත මහතා සඳහන් කරයි.
වැලිකන්ද ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ පරිසර විනාශයත්, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකරන මහා පරිමාණ වැලිගොඩ දැමීම මෙන්ම එමඟින් වැලිකන්ද, වඩුමුණේ පාලමට සිදුව ඇති විනාශය සම්බන්ධව මීට පෙර ප්‍රජා සංවිධානයක් ලෙස අදාළ සියලු බලධාරීන්ට ලිඛිතව දැනුවත් කළද ඊට මෙතෙක් නිසි විසඳුම් නොමැතිවීමද මෙම පැමිණිල්ලට හේතුවක් බව සභාපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

රුපියල් කෝටි 800ක මූල්‍ය වංචාවක් සිදුකර නොමැති බවට සනාථ කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් අංශයට මාස තුනක් කල්දෙන බවත් මූල්‍ය වංචාව සිදුකර ඇති බවට සතියකදී සියලු වීඩියෝ දර්ශන සාක්ෂි සහිතව සුරකිමු වැලිකන්ද ප්‍රජා සංවිධානය ඔප්පු කරන බවද එහි සභාපති කේ.බී. නිශාන්ත මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon