විගණකාධිපතිවරයාගේ මාසික දීමනාව රුපියල් 50,000ක් දක්වා වැඩි කිරීමට යයි

  👤  3452 readers have read this article !
By mawbima 2018-08-20

ජේ.ටී. ද සිල්වා

විගණකාධිපති එච්.එම් ගාමිණි විජේසිංහ වෙත ගෙවීමට යෝජිත මාසික වැටුපට අමතරව මාසික දීමනාව රුපියල් පනස් දහස දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් 2017 නොවැම්බර් 14 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අදාළව 2017 දෙසැම්බර් 05 වැනි දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, 2015 නොවැම්බර් 27 වැනි දින සිට රජයේ පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව ඉඹ්-4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට අනුමැතිය ලබාදී ඇත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016 අනුව 2016 ජනවාරි 01 වැනි දින සිට වැටුප් පරිවර්තනය කිරීමේදී ඉඹ්-4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට සහ එකී වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, අගමැති සහ ආර්ථික කටයුතු ඇමැතිවරයා නමින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇත.
විගණකාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති දීමනා මුදල වැඩි කළ යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වී ඇති බවත්, ඒ අනුව ඔහුගේ දීමනා මුදල ඉහළ යන බවත් දැන ගන්නට ඇත.

ඒ අනුව දැනටමත් වැටුප් සම්බන්ධ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති යෝජනා ඉවත් කර අලුත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යන බවට තොරතුරු අනාවරණය වෙයි.

මීළඟ රැස්වීම් වාරයේ මේ සම්බන්ධයෙන් අලුත් යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon