බේබද්දකුගෙන් පහර කෑ පොලිස් නිලධාරියා රෝහලේ

  👤  3445 readers have read this article !
By mawbima 2018-08-20

මහනුවර - නදීක දයා බණ්ඩාර

බීමත් පුද්ගලයකු විසින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලත් පොලිස් නිලධාරියකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
බිරිය හා දරු තිදෙනා සමඟ පේරාදෙණිය ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඇසළ මේලා සැණකෙළිය සඳහා පැමිණි මෙම සැකකරු අධික ලෙස බීමතින් යුතුව බිරියට අසභ්‍ය වචනයෙන් දිගින් දිගටම බැන වැදී ඇත.

ඔහුගේ නොමනා හැසිරීම පිළිබඳ එම ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහු පොලිස් නිලධාරියාට බැන වැදී පහරදී තිබේ.
පොලිස් නිලධාරියාගේ නහයෙන් ලේ එනතුරු බිම දමා බීමත් පුද්ගලයා පහරදී පසුව බිරිය හා දරුවන්ද දමා පලාගොස් තිබේ. සිද්ධිය පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහින්ද කල්දේරා මහතාට වාර්තාවී ඇති අතර වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා අසල සිටි අයගෙන් ලබාගත් තොරතුරු මත පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීම සිදුවන අවස්ථාවේදී උප පොලිස් පරීක්‍ෂකවරයකු හා තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු අසල සිට ඇති නමුත් ඔවුන් පහරදීම දෙස බලමින් සිටි බව පැවැසේ. මේ පිළිබඳව ස්ථානාධිපතිවරයා කළ විමසීමකදී තමන් පැමිණියේ රථ වාහන සම්බන්ධයෙන් රාජකාරි කිරීමට පමණක් යැයි ඔවුන් පවසා තිබේ.

රාජකාරි අවස්ථාවක නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකුට බීමත් පුද්ගලයකු පහර දෙනු දැක දැක ක්‍රියාත්මක නොවූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon