නවක සිසුන් දෙදෙනකුට පහරදී තුවාල කළ දෙවැනි වසරේ සිසුහු එකොළහක් අත්අඩංගුවට

  👤  3394 readers have read this article !
By mawbima 2018-08-20

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි , වේයන්ගොඩ - ඉන්දික තුෂාර

නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවක සිසුන් දෙදෙනකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් එකොළොස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

පසුගිය 14 වැනිදා මෙම ආයතනයේ පළමු වසර සිසුන් දෙදෙනකු ජේ‍යෂ්ඨ සිසුන්ගේ නවක වදයට ගොදුරු වූ අවස්ථාවේදී පහරකෑමකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත.

තුවාල ලත් සිසුන් ප්‍රතිකාර ලබා පිටව යෑමෙන් පසු පොලිසියට කළ ප්‍රකාශ අනුව හෙළිදරව් වූ තොරතුරු අනුව සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 1998 අංක 20 දරන අධ්‍යයන ආයතනවල නවක වදය හා වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ අයුතු ජනරාශියක සාමාජිකයන්ව අයුතු අවහිර කර පහරදී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීගම, හොරොව්පතාන, කුරුණෑගල, වදාකඩ, කෑගල්ල, පිටිගල, බෝයගනේ, කුරුවිට, දැරණියගල, මකුල්පොත හා අලව්ව පෙදෙස්වල පදිංචි සිසුන් පිරිසකි. සැකකාර සිසුන් සම්බන්ධයෙන් උසස් තාක්ෂණ ආයතනය මඟින්ද විනය පියවර ගැනීමට නියමිතය. සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.

ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතා ඇතුළු නිලධාරීහූ පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon