ජනමතයට පිටුපාන ආණ්ඩුවට විරෝධය පාන්න ලබන 5 වැනිදා අපි කොළඹ එනවා

  👤  3683 readers have read this article !
By mawbima 2018-08-20

වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ලබන මස 5 වැනිදා අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

යහපාලන ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික, සමාජයීය හා දේශපාලනික අවුල්ජාලාවක් රට තුළ ඇති වී තිබෙන බවත් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු රටම විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා (17දා) පැවැත්වූ 'ජන බලය කොළඹට' විරෝධතා රැලිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

යහපාලන ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපි අවුරුදු තුනක් සටන් කළා. ඒ වැඩපිළිවෙළ අපි හෙටත් ඒ විදියටම ක්‍රියාත්මක කරනවා.

මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ජනතාවගේ සැබෑ විපක්ෂය වූ අපිට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබානොදී අපිට කළ හැකි හැම හිරිහැරයක්ම කළා. අපේ ඉල්ලීම් ඉල්ලා සිටීමේදී කථානායකවරයා හිතුවක්කාර ලෙස හැසිරෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මේ ආණ්ඩුව අදත් හැසිරෙන්නේ එහෙමයි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපි ජනතා ජයග්‍රහණය වෙනුවෙන් නොසැලී ඉදිරියටම යනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
යහපාලන ආණ්ඩුවේ වංචාව, දූෂණය හා ජනතා අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහි ජනතාව සමඟ පාරට බැසීමට දැන් කාලය පැමිණ තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ අතකොළුවක් බවට පත්වෙලා.
සිංගප්පූරු වෙළෙද ගිවිසුම රටට අහිතකරයි. නමුත් ඒ ගිවිසුම රටට අහිතකර නැති බවත් අහිතකර වගන්ති ඇත්නම් සංශෝධනය කළ හැකි බවට මහින්ද සමරසිංහ අමාත්‍යවරයා රටට බොරු කියනවා. හිතෙන හිතෙන ආකාරයට ජාත්‍යන්තර ගිවිසුම් සංශෝධනය කරන්න බැහැ. දැන් ඒ ගිවිසුම අස්සන් කර අවසන්.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ
පසුගිය පළාත් පාලන මැතිවරණයට බහුතර ආයතන ප්‍රමාණයකට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වුණා. මහරගම ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකට වෙනත් ලකුණු යටතේ ඉදිරිපත් වුණා. ලකුණු මොකක් වුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර නිවැරැදිව හඳුනාගෙන ඒ කඳවුරට ජයග්‍රහණය ලබාදෙන්න ජනතාව නොපැකිළව ඉදිරිපත් වුණා. ඒ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව දැඩි තිගැස්මකට ලක්වුණා.
මේ ආණ්ඩුව ඒකීය රට දෙකඩ කරන්න බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. රට බේරාගත් ත්‍රිවිධ හමුදාවන්ගෙන් පළිගන්න, භික්ෂුන් වහන්සේට හිරිහැර කරන මේක මහ නරුම පාලනයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත්
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේදී අපි අගමැතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වුණා. පාර්ලිමේන්තුවේ විකෘති විපක්ෂය නිසා ආණ්ඩුවට සැබෑ ජනබලය ගැන අවබෝධයක් නැහැ. සැබෑ ජනබලය තිබෙන්නේ කොතැනද කියන එක ආණ්ඩුවට අවබෝධ කර දෙන්න අපි ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට පූර්ණ සහාය ලබාදෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ
අද පාර්ලිමේන්තුවේ තිබෙන්නේ නාමික විපක්ෂයක්. සැබෑ විපක්ෂය වූ අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් ඉඩක් දෙන්නේ නැහැ. දින සියයේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිකම් ගන්නත්, විපක්ෂ නායක ධුරය ගන්නත් පුළුවන්. නමුත් අපිට ඒ අයිතිය නැහැ.

ඉෂාරා සිල්වා
ඡායාරූප - තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon