ගරු නාමයෙන් ආමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුවට හඳුන්වා දෙනවා

  👤  3447 readers have read this article !
By mawbima 2018-08-20

පාර්ලිමේන්තුවට 'ගරු' මන්ත්‍රිතුමා යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රිවරයකු හඳුන්වා දීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය පවසයි.
ජර්මන් ආධාර යටතේ ඒ සඳහා පුහුණු ආයතනයක් අරඹන බවද කථානායකවරයා කියයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කීප දෙනකුගේ හැසිරීම් රටාවත් එම හැසිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ ඇති ගෞරවය කෙලෙසී තිබීම ගැනත් දැඩි වේදනාවකින් කතා කළ කථානායකවරයා විෂම පුද්ගල චරිත ඇති පස්දෙනකු පමණ පාර්ලිමේන්තුවේ කීර්ති නාමය විනාශ කරමින් සිටින බව කීවේය.

කථානායකවරයා එසේ කීවේ පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් හමුවූ අවස්ථාවේදීය.

කථානායකවරයා අවධාරණයෙන් පැවැසුවේ මෙම පුද්ගල චරිත කීපය හැරුණු විට අන් සියලු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන බවයි.

එසේ පවසමින් කථානායකවරයා විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනකුට විශේෂ ස්තුතියක්ද කළේය. ඒ පසුගියදා මහුනවරදී සිදු වූ කනගාටුදායක සිද්ධියේදී ඒ මන්ත්‍රිවරුන් ඉදිරිපත්ව කළ යෝජනාවක් ගැන සඳහන් කරමිනි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරු තිදෙනා තමා හමු වී පාර්ලිමේන්තුව මේ කටයුතුවලට මැදිහත්විය යුතු බවට තමාට යෝජනා කළ බවත්, එම මන්ත්‍රිවරුන් කළ යෝජනාව ගැන ඒ මොහොතේ ඔවුන්ට බෙහෙවින් ස්තුති වූ බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සර්වපාක්ෂික නියෝජිත කණ්ඩායමක් මහනුවරට ගොස් ආගමික නායකයන් සමඟ සාකච්ඡා කොට මහනුවර සිද්ධිය සංසිඳුවීමට අපේ දායකත්වය ලබාදුන් බවත් කීය.

අපේ පාර්ලිමේන්තුවේ බොහෝ හොඳ දේ සිදුවෙනවා. අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා, අපේ පාර්ලිමේන්තුව ආදර්ශවත්පාර්ලිමේන්තුවක් ලෙස නම් කර තිබෙනවා. එසේම බොහෝ රටවල අපේ පාර්ලිමේන්තුව ගරු කොට සලකනවා. අපේ පාර්ලිමේන්තු නිලධාරීන්ට නිරන්තරයෙන් ඒ රටවලින් විවිධ පුහුණුවීම්වලට ආරාධනා ලැබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 150ක පමණ පිරිසකට විදේශ පුහුණුව ලබාදී තිබෙනවා. එයට මහජන මුදල් වැය කර නැතැයිද කථානායකවරයා පැවැසීය.

බොහෝ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ සිදුවන හොඳ දේවල් වාර්තා නොවීම ගැන කනස්සල්ල පළ කළ කථානායකවරයා මාධ්‍ය ගැන සඳහන් කරමින් කීවේ රටක් හදන්නත්, විනාශ කරන්නත්, පුද්ගලයකු ගොඩනඟන්නත්, චරිතය නැති කරන්න මෙන්ම ඇති කරන්නත් මාධ්‍යට පුළුවන් බවයි.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය ක්‍රියාත්මක කර තිබීමත්, අගමැතිවරයාගෙන් ඍජුව ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදීමත්, පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හා රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) සහ උසස් නිලතල කාරක සභාව හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් වී තිබෙන බවත් ගිණුම් කාරක සභා ක්‍රියාත්මක වීම නිසා වසර ගණන් පමා වූ රජයේ ආයතනවල වාර්ෂික ගිණුම් වාර්තා සෑම අවුරුද්දකම අගෝස්තු මාසය වන විට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවද කථානායකවරයා පැවැසුවේය.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන සතුට පළ කළ කථානායකවරයා මේ තත්ත්වය නිසා විශේෂයෙන් අධිකරණ ක්‍ෂේත්‍රයේ විශ්වසනීයත්වය වඩාත් තහවුරු කර ගැනීමට හැකිව තිබෙන බවත් කීවේය.

ප්‍රසම්පාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමෙන් රජයේ මිලදී ගැනීම් ක්‍රියාවලියේ විනිවිදභාවයක් ඇති කර ගැනීමටත් ඒවායේ සිදුවන දූෂණ අක්‍රමිකතාවන් අවම කර ගැනීමටත් හැකිව තිබෙන බවද 'පිරිසුදු දෑත්' කියන සංවිධානයකින් කළ පරීක්ෂණයේදී රජයේ මුදල් වැය කිරීමේදී 40%ක් දූෂණයට ලක්ව තිබෙන බව අනාවරණය වී තිබෙන බවත් කෝප් කමිටු හා ස්වාධීන කොමිෂන් සභාවලින් එම තත්ත්වය අවම කර ගැනීමට හැකි වී තිබෙන බවත් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තුවේ රැස්වීමක් වෙනුවෙන් දිනකට ලක්ෂ 45ක පමණ මුදලක් වැයවන බව පෙන්වා දුන් කථානායකවරයා, උදයවරුවේ පාර්ලිමේන්තුව රැස්වී දිවා විවේකය වන විට ගණපූරණය නොමැතිව රැස්වීම කල් යෑමට සිදුවීම ජාතික අපරාධයක් බවද කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon