ප්‍රසිද්ධ මාධ්‍යයක සංවාදයට එන්නැයි ආර්ථික විද්‍යාඥයෙක් බව කියන ඇමැති සමරසිංහට අභියෝග කරනවා

  👤  3496 readers have read this article !
By mawbima 2018-08-20

ඉෂාරා සිල්වා

තමා ආර්ථික විද්‍යාඥයෙක් බව කියාගන්නා ඇමැති මහින්ද සමරසිංහ මහතාට ආර්ථික විද්‍යාවේ මූලධර්ම පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයක සංවාදයකට පැමිණෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කරයි.

එවිට දේශපාලනඥයා කවුද, ආර්ථික විද්‍යාඥයා කවුද යන්න රටේ ජනතාවට අවබෝධ කර ගැනීමට හැකි වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති මහින්ද සමරසිංහ මහතා මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික විද්‍යාඥයෙක් නොව දේශපාලනඥයකු බවටත් ඔහු ටියුෂන් කළා යැයි අසා තිබෙන බවටත් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසුවේය.

තමන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව හා වාණිජ යන විෂයයන් සහ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව හා ගණකාධිකරණය යන විෂයයන් සමත් බවත් විශ්වවිද්‍යාල උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව සමත් වූ බවත් හෙතෙම පැවැසීය. තමන් මේ වන විට ආර්ථික විද්‍යාව සඳහා කෘතීන් 50කට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙන බවත් ආර්ථික විද්‍යාඥයෙක් යැයි කියාගන්නා ඇමැති මහින්ද සමරසිංහ කොපමණ රචනා කර තිබේ දැයි ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.

ආර්ථික විද්‍යාව විෂය වෙනුවෙන් තමන් කර තිබෙන කර්තව්‍යය මහින්ද සමරසිංහ මහතාට සසර වසනතුරු සිදු කිරීමට නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

බුදුරාජණන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ යම් කිසි ශාස්ත්‍රයක් මඳක් දන්නා පුද්ගලයකු ගොනකු ලෙස හැසිරෙන අතර ගොනකු ලෙස ඔහුගේ මස් ලියලන නමුත් ප්‍රඥාව නොවැඩෙන බවයි. එම නිසා මෙවැනි අපහාසවලට මුහුණදීමට තමන් සූදානම් බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon