උදේ ඉඳන් රෑ වෙනතුරු කළුගල් කඩා නංගියි මල්ලියි ජීවත් කරවන දුප්පත් අක්කාගේ කඳුළු කතාව

  👤  3967 readers have read this article !
By mawbima 2018-08-20

මෙලොව උපදින මිනිසුන් සියල්ලෝම ජීවත්වීමට කැමැතිය. ඒ කැමැත්ත තුළ ඇතැමුන් ගත කරන ජීවිකාව සුර ලොවක තරම් සැප සම්පත්වලින් පිරී ඉතිරී ඇත. තවත් මිනිසුන් ජීවත්වන්නේ බොහෝ දුක් ගිනි මැද. ඒ මෙලොව උපන් මිනිසුන්ගේ විසමතාවයි. නැතිනම් ඇති නැති පරතරයයි. ඇත්තෝ සැප සම්පත් මැද ජීවත් වෙද්දී නැත්තෝ ජීවත් වන්නට ගන්නේ පුදුම මහන්සියකි. එදා වේලවත් සපුරා ගන්නට වත්කමක් නැති මිනිසුන් සිටින අහස යට ඇති නැති පරතරය මිනිසුන් දෙස බලා ඇත්තේ පුදුම වෙනසකිනි. ගතේ වීර්යත්, සිතේ ශක්තියත් මේ නැත්තවුන් ළඟ මහා ශක්තියකින් මවා තිබේ. රෝද හතරේ මාලිගාවලින් යන බොහෝ මිනිසුන් ළඟ ඇති මවා ගත් බෝසත් ගුණයට වඩා එහා ගිය මහානුභාව මනුසත්කමක් ඒ දුප්පත් මිනිසුන් ළඟ ඇති යැයි කීම මුසාවක් නොවේ. ජීවිතය ගෙවා ගන්නටත් අනෙකාගේ ජීවිත සුවපත් කරන්නටත් උනුන් අතර ඇති බැඳීම වචනවලට පෙරළිය නොහැකි තරම් ප්‍රබලය. සංසාරයේ පතා ආ බොහෝ බැඳීම් එක්කම මේ දුප්පතුන්ගේ ලෝකයට සතුටක් උදාවන්නේ කවදා දැයි ඔවුන් බලා හිඳින්නේ දැඩි ආසාවකිනි. ඒ දුප්පතුන්ගේ ලෝකයේ සිහිනයකි. ඒ මිනිසුන් මේ ලොවට කියා පාන්නේ අහිංසක පණිවුඩයකි.

මවුවරුන් පණ පිටින් මරා දමන රටේ, පියවරුන් කුකුළු කූඩුවල කූඩු කරන මේ ධර්මද්වීපයේ අප සොයා ගියේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එකම මවගේ කුසයෙන් සහෝදර සහෝදරියන් ලෙස ඉපදී මැරෙන තුරුම එකට ජීවත්වන්නට වරම් යදින ඔවුන්ගේ ජීවිත කතාව මහත් සේ දුක්බරය. ජීවත්වන්නට ගන්නා අපමණ වෙහෙසත්, කුඩාවට කැඩෙන කළු ගල් කැට සේ තැළෙන පොඩිවෙන ඔවුන්ගේ ජීවිතත් කියා පාන්නේ බොහෝ සේ වෙහෙසකර කාරණාවකි. ලැබුණු පණ නළ අසීරුවෙන් හෝ ගැට ගසා ගෙන අවසාන හුස්ම පොද ද මේ මහා වා තලයට මුසු වන දින දක්වාම ඔවුන්ගේ පැතුම එකම වහලක් යට ජීවත්වන්නටය.

එහෙත් ඔවුන්ගේ අහිංසක සිහිනයට ඇති අභියෝග විශාලය. ජීවන අරගලය ඔවුන් ගෙන යන්නේ ඒ තරම් කටුක වටපිටාවක් තුළය. සතියේ දින හතෙන් එකක්වත් ඔවුන්ට විශේෂ දිනයක් නැත. මන්ද ඒ දින සියල්ලම ඒකාකාරීව එකම වෘත්තයක කැරකෙන නිසාය. ඇගේ මහලු දෑතට පින් සිදු නොවන්නට ඇගේ බාල සොයුරාත්, ආබාධිත නැඟණියත් අන්ත අසරණ වන්නට ඉඩ තිබිණි. එහෙත් ඒ දෑත තුළ ඇත්තේ ශක්තිවන්ත බවකි. තුන් වේල නැතත් එක් වේලක්වත් පිරිමසා ගන්නට ඒ මහලු දෑතින් කැඩෙන කළු ගල් කැබලි ප්‍රමාණවත් නොවේ. එහෙත් ගිනියම් වූ කළු ගල් කුට්ටි මැද එකින් එක පිරෙන මැටල් තාච්චි මත ඇගේ දහඩිය දියවී යන්නේ වද වේදනාවන් රාශියක් මැදිනි. ඒ වද වේදනාවන් තුළ ඇත්තේ බුර බුරා නැඟෙන ආත්මානුකම්පාවක් බව ඇගේ දෙනෙතින් කඩා හැලෙන කඳුළු කැට සාක්ෂි දරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරගොල්ලාගම, තලාදපිටිය ග්‍රාමයට අප ගියේ ඒ දුක්බර ජීවිත ගැන කියන්නටය. එහි යන විටත් අප කතා නායිකාව වන කේ. ඩිංගිරි මාතාව සිටියේ ගිනියම් වූ රශ්මිය මැද කළු ගල් කඩමිනි. ජීවිත තුනක් ජීවත් කරන්නට ඒ දෑතේ ඇත්තේ මහා ශක්තියකැයි අපට වැටහුණේ එහි ගිය විටය. ජීවත් වන්නට සොරකම් මැරකම්, ජඩකම් කරන පාපතරයන් ඉන්නා රටේ කුරා කූඹියකුටවත් හානියක් නොකර හුස්ම ටික ගන්නට ඇය ගන්නේ සුළු පටු වීර්යයක් නොවේ. කේ. ඩිංගිරි මාතාව අප සමඟ වචන ගොනු කළේ දැඩි වේදනාවකිනි.

'මට දැන් අවුරුදු 66ක් වෙනවා මහත්තයෝ. මගේ මහත්තයා මාව තරුණ කාලයේදීම දාලා ගියා. එදා ඉඳන් මම ජීවත් වුණේ මගේ සහෝදරයයි සහෝදරියයි එක්ක. එයාලා උත්පත්තියෙන්ම ලෙඩ්ඩු. මට දරුවො හිටියෙ නැති නිසා ඒ දෙන්නත් බලාගෙන ඉන්නවා කියලා මම හිතා ගත්තේ මගේ මහත්තයා මාව දාලා ගිය දවසේ ඉඳලා. එදා ඉඳන් පිරිමියෙක් වගේ මගේ මේ අත්දෙකෙන් නොකරපු වැඩක් නෑ. සමහර වෙලාවට ගෑනියකුට කරන්න බැරි දේවල් පවා මම කරලා තියෙනවා. මගේ විතරක් නෙවේ මගේ මල්ලිගෙයි නංගිගෙයි ජීවිතත් මැරෙන තුරුම මම බලාගන්න ඕනේ. ගම පුරා ඇවිදල පොල් අතු එකතු කරගෙන ඇවිදින් ඒවා වියලා විකුණුවා. පැදුරු වියලා විකුණුවා.

අවුරුදු 66ක් කියන්නෙ මහත්තයෝ වැඩ කරන්න පුළුවන් වයසක් නෙවේ. මේ හිටියට මට තියෙන අසනීප ගැන දන්නෙ මම විතරයි. එහෙමයි කියලා කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න බෑ. ඒ හින්දයි මම මේ කළු ගල් මෝලේ වැඩට එන්න තීරණය කළේ. උදේ ඉඳන් හවස් වෙනකල් මම මැටල් කඩනවා. ඒවා විකිණුනොත් සල්ලි හම්බෙනවා. නැත්නම් ඒවා විකිණෙන කල් ඉන්න ඕනේ. උදේ ඉඳලා වැඩ කළත් උපරිම වශයෙන් කඩන්න පුළුවන් මැටල් තාච්චි 25ක් වගේ ප්‍රමාණයක් විතරයි. දවසට මොන අමාරුව තිබුණත් මැටල් තාච්චි 20ත් 25ත් අතර ගාණක් කඩනවා. එක මැටල් තාච්චියකට රුපියල් 15ක් ලැබෙනවා. ඒ ලැබෙන මුදලින් තමා අපි තුන් දෙනාම ජීවත් වෙන්න.

 

ඒ වදන් ඇගේ මුවින් ගිලිහුණේ දෑසේ මුසු වූ කඳුළු බිඳුද සමඟිනි. රුපියල් පහළොවක මැටල් තාච්චියක් පුරවන්නට මේ වයෝවෘධ මව ගන්නේ සුළු පටු උත්සාහයක් නොවේ. එක් අතක ගුළි වූ මිටියත් අනෙක් අතට ගුළි වූ කළු ගල් කැබලිත් අතර තැළී පොඩි වී යන්නේ ඔවුන්ගේ නැති බැරිකමින් උපන් ඔවුන්ගේ ජීවිත කතාවය. මිටි පහරින් කැඩී බිඳෙන ගල් කැබලි මෙන් දුකින් මිරිකුණු ඇගේ සිත බොහෝ සේ කැඩී බිඳී ඇති බව නොරහසකි.

'මගේ මල්ලි මානසික රෝගියෙක්. එයාට දැන් අවුරුදු 62යි. නංගි අබ්බගාතයි. එයාට දැන් අවුරුදු 55යි. එත් එහෙමයි කියලා ඒ දෙන්නට නොසලකා ඉන්න මට බෑ. පුළුවන් විදියට මහන්සි වෙලා කීයක් හරි හොයාගන්නේ ඒ දෙන්නට එක වේලක් හරි කන්න දෙන්න. සමහර වෙලාවට එක වේලක්වත් කන්න විදියක් නැතිවෙන වෙලාවල් එමටයි මහත්තයෝ. කඩන මැටල්වලින් දවසට රුපියල් 375ක් විතර තමා උපරිම මට ලැබෙන්නෙ. ඒකෙන් තමා අපි මෙනවා හරි කාලා මේ වහලෙ යට වැටිලා ඉන්නෙ. දරුවො දෙන්නෙක් බලාගෙන ජීවත් වන අම්මෙක් වගේ මම මගේ මල්ලියි නංගියි ජීවත් කරවනවා. සාමාන්‍යයෙන් මාසෙකට මල්ලිට බෙහෙත් කරන්න රුපියල් 7,000ක් විතර යනවා. මට පුළුවන් විදියට කීය කීය හරි ඉතුරු කරලා මාසෙට ඕනෙ බෙහෙත් ගාස්තුව හදා ගන්නවා. නැත්නම් ගල් වළේ මුදලාලිගෙන් ණයට ඉල්ලා ගන්නවා. ඒ මුදල පියවෙන්න කළු ගල් කඩලා දෙනවා. රජයෙන් කියලා අපිට හම්බ වෙන්නෙ රුපියල් 360ක සමෘද්ධි මුද්දරයක් විතරයි. ඒ සමෘද්ධි මුද්දරේ තියෙනවා කියලා මහත්තුරු මගේ පින් පඩියත් කැපුවා මහත්තයෝ. ඉතින් ඒවා ගැන කතා කරලා ආයේ ඒවා දෙන්න කියන්න මට දැනුම් තේරුමක් නෑ. ඉතින් ඒ නිසා මේ රස්සාව කරලා පුළුවන් විදියට අපි ජීවත් වෙනවා. එහෙම තමා මහත්තයෝ අපේ මේ ජීවිත ගෙවෙන්නේ. මේ ජීවිතත් හරියට මගේ මේ අත් දෙකෙන් කැඩෙන කළුගල් වගේ. හයිය වුණත් ඉක්මනින් කැඩිලා බිඳිලා යනවා.

දුප්පත් බව ඔවුන්ට බොහෝ දේ හරස් කර තිබේ. රුපියල් 360ක සමෘද්ධි මුද්දරයෙන් වේලක් කන්නට තියා හිතන්නටවත් නොහැකිය. එයද ලැබෙන්නේ මාසෙකට වරකි. දිනකට උපයන රුපියල් 375ක මුදලින් තුන් දෙනකුට වේලක්වත් කන්නට නොහැකිය. එහෙත් ඔවුන් ජීවත් වෙන්නේ එහෙමයි.
අපි ජීවත් වෙන ගෙදරත් හොඳටම අබලන් වෙලයි තියෙන්නේ මහත්තයෝ. මැටි ගහලා මීට අවුරුදු ගාණකට කලින් හැදුව ගෙදර දැන් තැනින් තැන බිත්ති පුපුරලා. වහලෙට ටකරන් තහඩු යොදලා තිබුණට බිත්ති කොයි වෙලේ කඩාගෙන වැටෙයිද දන්නෙ නෑ. ඒ තරම් ලොකු අවදානමක තමා අපි ජීවත් වෙන්නෙ. සමහර දවස්වල මට නින්දක් නෑ. හදිස්සියේවත් බිත්තියක් පෙරළෙයි කියලා ලොකු බයක් දැනෙනවා.

ලෙඩ රෝග කොයිතරම් තිබුණත් මම ඒ ගැන හිතන්නෙ නෑ. මම ලෙඩ වුණොත් ඒ දෙන්නට සලකන්න විදියක් නැතිව යනවා. පුළුවන් විදියට මැරෙන තුරුම මේ දෙන්නා එක්ක වැටිලා ඉන්න එක තමා මගේ එකම ආසාව. ඒ වෙනුවෙන් මට උදවුවක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් මහත්තයෝ.

ඇය අවසන කියා සිටියාය. ඇත්තටම ඔවුන්ගේ ජීවිතවලට සැනසුමක් සතුටක් ලබා දෙන්නට හැකිනම් එය මහත් වූ පින්කමකි. දිරා ගිය මැටි බිත්ති අතර ඔවුන්ගේ ජීවිත අවදානම අති විශාලය. ටකරම් සෙවිලි කළ වහලය යට ඔවුන්ගේ ජීවිතවල අබ මල් රේණුවකවත් ආරක්ෂාවක් නැත. කුසට අහරක් නැති, නෙතට නින්දක් නැති ඒ ජීවිත තුළ ඇත්තේ දුකක් ශෝකයක් පමණි. උදා ගම්මාන එක දිගට ඉදිවන ශ්‍රී ලංකාවේ මේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් එක් නිවෙසක්වත් ලබා දෙන්නට කිසිදු රාජ්‍ය නිලධාරියකු නොසිතීමද පුදුමයකි. මිනිසත්කම බල්ලන්ට ගිය රටේ සොහොයුරු බැඳීම දිවි ඇති තෙක් සුරකින්නට මේ මාතාව ගන්නා උත්සාහය මුළු මහත් සමාජයටම පූර්විකාවකි.

කළුගල් කඩන දෑතින් ඩිංගිරි මාතාව ගෙවන ජීවිතයට පිහිටක් පිළිසරණක් වන්නට පින් කැමැති ඔබත් කැමැති නම් 0778650271, 0712823776, 0702824776 යන දුරකථන අංක ඔස්සේ ප්‍රභාත් මහතා සම්බන්ධ කර ගත හැකිය. ඔවුන් වෙනුවෙන් ඔබගේ උපකාරය දක්වන්නේ නම් එය මිනිසත්කමට දක්වන ගෞරවයකි.
පොල්පිතිගම ප්‍රභාත් නදීර මහතාට ස්තුතියි.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon