දෙමළ නායකයන් අපේ ජනතාව රවටනවා

  👤  3537 readers have read this article !
By mawbima 2018-08-20

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයේ ඒකාධිකාරි බලය බිඳ දැමිය යුතු බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.

ඒ මහතා අවධාරණය කරන්නේ දෙමළ නායකයන් දිගින් දිගටම දෙමළ ජනතාව රවටමින් සිටින බවයි.
සංගරී මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කොට ඇත. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය වත්මන් ආණ්ඩුවේ විපක්ෂය ලෙස කටයුතු කරනු ලබනවා. නමුත් මේ වන තෙක් දෙමළ ජනතාවට කළේ කුමක්ද? දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලබාගෙන ඇති විසඳුම්වල ප්‍රගතිය කුමක්ද? බලහත්කාරයෙන් අතුරුදන්වූවන්ගේ ගැටලුව මෙගා නාටකයක් බවට පත්වෙමින් තිබේ. මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳුමක් ලබා නොදීම නිසා යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව හා පුනරුත්ථාපන වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත්වෙයි.

ඔවුන් වෙනුවෙන් යම් සැලැසුමක් මෙම නායකයන්ට තිබේද? තමන් නිසා වත්මන් ආණ්ඩුව බලයට පත්වූවා යැයි දෙමළ නායකයන් පුරසාරම් දෙඩුවත් දෙමළ ජනතාව රවටා ඇති බවට ජනතාව නඟන චෝදනාව මේ නායකයන්ට ඇසෙන්නේ නැද්ද?

තමිල් අරසු කච්චි පාලනයට නතුව දෙමළ ජාතික සන්ධානයේ අනෙකුත් දේශපාලන පක්ෂ දෙගිඩියාවෙන් හා අපහසුතාවයෙන් පසු වෙයි. මුල්ලිවයික්කාල් ඝාතන දෙස බලා සිටියේ ඇයි. යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දියාව ආරාධනා කළ අවස්ථාවේදී ඇයි එම අවස්ථාව පැහැර හරිනු ලැබුවේ. යුද්ධය නතර වුණහොත් තමන්ගේ තනතුරු අහිමි වනු ඇති බවට සිතමින් කටවසාගෙන සිටි අයම විශ්වාස කරමින් ජනතාව නැවතත් ඔවුන්ට බලය ලබා දුන්නා. එහි ප්‍රතිවිපාක දැන් ජනතාව විඳිමින් සිටිනවා. නිහඬව සිටියොත් පමණයි නැවත බලයට පැමිණිය හැක්කේය යන මතයේ ඔවුන් දැන් සිටින්නේ.

මීට පෙර කිසිම ආණ්ඩුවක් ලබා නොදුන් වරප්‍රසාද, දීමනා වත්මන් ආණ්ඩුව දෙමළ නායකයන්ට ලබාදී තිබෙනවා. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හොඳින් සිතා කටයුතු කරනවා නම් ඔවුන්ට යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ මෙන්ම පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ ජීවිත නඟාසිටුවීමේ හැකියාව පවතිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon