දිනේෂ්ගෙන් කථානායකට බරපතළ චෝදනාවක්

  👤  3018 readers have read this article !
By mawbima 2018-08-19

ජේ.ටී. ද සිල්වා

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතට අදාළ උප ලේඛනය නොමැතිව කථානායකවරයා එම පනත සහතික කිරීම නිසා පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන 'මව්බිම'ට පැවැසීය.

මේ තත්ත්වයට කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතුව ඇතැයි මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ පනතක් සම්මත වූ පසු එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව යථා පරිදි සම්මත වූ පනතේ සත්‍ය පිටපතක් බවට මහ ලේකම්වරයා නිර්දේශ කිරීමෙන් පසු කථානායකවරයා එම පනත සහතික කරන නමුත් පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ අඩුපාඩුකම් නොසලකා හැර පනත සහතික කිරීම පිණිස මහ ලේකම්වරයා කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය මාස කිහිපය තිස්සේම ප්‍රසිද්ධියේ දිගින් දිගටම සඳහන් කරමින් පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කර දෙන ලෙස ඉල්ලීම් කළ බව සඳහන් කළ දිනේෂ් ගුණවර්ධන මහතා, කොමිසමේ සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ එම උපලේඛනය ඇතුළත් නොවීම විය හැකි යැයි අනුමාන කරන බවද පැවැසීය.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු කාල වේලාවන්, තැන්පත් කළයුතු ඇප මුදල් ආදිය උප ලේඛනයට ඇතුළත් වන බැවින් පනතට වැදගත්ම කොටසක් වන එම උප ලේඛනය යළි පනතට ඇතුළත් කිරීමට නම් සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ යුතුව ඇතැයිද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පළාත් සභා සීමානිර්ණය කොමිෂන් වාර්තාව විෂය භාර ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාසයක් ඇතුළත එය පාර්ලිමේන්තුවේ විවාද කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළයුතු වෙයි.

එම වාර්තාව පිළිබඳ විවාද කිරීමට පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතුවල අවස්ථා දෙකකදී ඇතුළත් කර තිබුණද පසුව එය ඉවත් කර තිබුණු බව ගුණවර්ධන මහතා පැවැසීය.

ඉකුත් මාර්තු 6දා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අප්‍රේල් 6දා වනවිට එය පාර්ලිමේන්තුවේ විවාද කර අවසන් වීමෙන් පසු එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත නොවුණහොත් කථානායකවරයා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත් කළයුතු බවත් සමාලෝචන කමිටු වාර්තාව අගමැතිවරයා විසින් මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු බවත් පෙන්වා දුන්නේය.

පනත ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතු කාර්ය භාරය මාස පහක් තිස්සේ සිදු නොවුණු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා, කථානායකවරයා කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක්ද පසුගියදා පත් කළ බව පැවැසීය.

එවන් තත්ත්වයක් තුළ එම සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇතැයි පැවැසූ ගුණවර්ධන මහතා ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගැනීමට හැකිවෙයිද යන ප්‍රශ්නයක් පැනනැඟී ඇතැයිද සඳහන් කළේය.

කථානායකවරයාගෙන් සිදුවී ඇති වැරැදි අගමැතිවරයාට දැන් නිවැරැදි කිරීමට සිදුවී ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon