2019 බලය අල්ලන්න සමරවීර-අමරවීර හැප්පෙති

  👤  3253 readers have read this article !
By mawbima 2018-08-19

රුචිර දිලාන් මධුශංඛ

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතාවට සහනදායී වැඩසටහන් කඩිනමින් දියත් කිරීම සඳහා ශ්‍රී ලනිපයේ සහ එජාපයේ අමාත්‍යවරුන් අතර දැඩි තරගයක් හටගෙන තිබේ.

එජාපයේ අමාත්‍යවරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් එජාපය එම යෝජනා සකස් කරමින් සිටින අතර සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිපය සිය යෝජනා සකස් කරමින් සිටී. මෙම තරගය නිසා ආණ්ඩුවේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පක්ෂ දෙකේ ඇමැතිවරුන් අතර දැඩි මත ගැටුම් ඇති වෙමින් තිබෙන බවද හෙළිදරව් වෙමින් තිබේ.

ඒ අනුව එජාපය විසින් ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා, ලක්ෂ 3කට අලුතින් සමෘද්ධිය ලබා දීම, උපාධිධාරීන් 5,000කට රැකියා ලබාදීම, ගමේ සංවර්ධනයට කෝටි 600ක් වෙන් කිරීම සහ ඉඩම් නැති අයට පර්චස් 7ක ඉඩමක් ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර එය එජාප ආසන සංවිධායකවරුන් මූලික කරගනිමින් සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මූලිකත්වයෙන් පමණක් සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න වී ඇත. එජාප මන්ත්‍රිවරුන් පමණක් අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත් කර මසකට රුපියල් දෙලක්ෂයක දීමනාවක් ගෙවීමද මේ ගැටුමට තවත් හේතුවක් වී තිබේ.

තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකුගේ කොළඹ පිහිටි නිවෙසේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එජාපය ඉදිරි කාලය තුළ තනි ගමනක් යෑමට උත්සාහ කරන අතර ඒ ගැන ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කිරීමට කටයුතු කළයුතු බවට සාකච්ඡා කර තිබේ.

ඉදිරි අය - වැයෙන්ද එජාපයට වාසිදායක ලෙස යෝජනා ගෙන ඒමට කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලනිපයට ගැළපෙන තීන්දුද ඇතුළත් කළයුතු බවටත් එම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon