තරුණයන් පැහැරගත් ඇත්ත නේවි සම්පත් කවුද?

  👤  3430 readers have read this article !
By mawbima 2018-08-19

රහස් පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කොටුවේ සිට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසට යමින් සිටියේය.

ඒ ඉකුත් 13 වැනිදා පස්වරු 1.45ට පමණය.

පොලිස් ජීප් රථයෙහි ඉදිරි අසුනේ සිටියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාය. මහත් ආන්දෝලනයට තුඩු දුන් විද්‍යා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ නිලධාරියා වන්නේද නිශාන්ත සිල්වාය.

ඔහු මෙදින හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසට යමින් සිටියේ රාජකාරි ලියමනක් රාජපක්ෂ මහතාට භාර දීම සඳහාය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසාවට පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපතිවරයාගෙන්ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා දිනයක් ලබාදීම සඳහා නිශාන්ත සිල්වා ඇතුළු කණ්ඩායම මෙලෙස ගමන් කරමින් සිටියේය.

කොටුව, ලෝටර්ස් පාර ප්‍රදේශයේ සුපුරුදු පරිදි තිබුණේ රථවාහන තදබදයයි. නිශාන්ත සිල්වා රථවාහන තදබදය නිසා වේගය අඩු වුණු ජීප් රථයේ සිට මඟ තොට දෙස නෙත් යොමු කළේය.

හොඳට දැක පුරුදු අයකු අසල මාර්ගයේ පා ගමනින් ගමන් කරන ආකාරය නිශාන්ත සිල්වා දුටුවේය.

ඔහු කොණ්ඩය සහ රැවුල වවාගෙන සිටි අයෙකි. ඇඳගෙන සිටියේද නිල් පැහැති අත්කොට කමිසයක් සහ නිල් ඩෙනිමකි.

වහාම ජීප් රථයෙන් බැස ගත් නිශාන්ත සිල්වා එම තැනැත්තා පසුපස ලුහුබැන්දේය. එම පුද්ගලයාද ලෝටර්ස් පාරේ වූ දුරකථන අලෙවි සලක් තුළට ගියේය.

එම තැනැත්තා පිළිබඳ හොඳින් විපරම් කළ නිශාන්ත සිල්වා ඔහු අසලට ගියේය.
'ඔයාගේ නම මොකක්ද?' නිශාන්ත විමසුවේය. 'මම කුමාර' ඒ ඔහුගේ පිළිතුරය.'

'කුමාරද හෙට්ටිආරච්චිද' නිශාන්ත නැවත විමසුවේය.

'හෙට්ටිආරච්චි'

ඒත් සමඟම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම තැනැත්තාව අත්අඩංගුවට ගත්තේය.
වර්ෂ 2008දී කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි පැවසෙන සිද්ධියට අදාළව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයය.

වසර කිහිපයක සිට රහස් පොලිසිය සේම අධිකරණයද මඟහරිමින් සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සතුව ව්‍යාජ හැඳුනුම්පතක්ද තිබූ බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අහංගම ප්‍රදේශයේ පදිංචි පොල්වත්ත ගාල්ලගේ අශෝක යන නමින් එම ව්‍යාජ හැඳුනුම්පත සකස් කර තිබූ බවද රහස් පොලිසියේ අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට රහස් පොලිසියට පැමිණෙන ලෙසට ප්‍රථම වරට දැනුම් දුන්නේ 2017 වසරේ මාර්තු මස 1 වැනිදාය.

නමුත් එදින සිට රහස් පොලිසිය දැනුම් දුන් සියලු අවස්ථාවලදී චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පොලිසිය මඟ හැරියේය.

2017 වසරේ අප්‍රේල් මස 3 වැනි දින රහස් පොලිස් නිලධාරීහු ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසට ගොස් සෝදිසි කිරීමක්ද සිදු කළහ.

ඔහුගේ බිරියද එදින රහස් පොලිස් නිලධාරීන් වෙත පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ආගිය අතක් නොමැති බවටය. තමා ඒ ගැන වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කළ බවද ඇය පොලිසියට පැවැසුවාය.

මෙම තරුණයන් 11 දෙනාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුවකු ලෙස නම් කොට විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම සැකකරුගේ විස්තර සහ ඡායාරූප සියලු පොලිස් ස්ථාන වෙත යොමු කළ රහස් පොලිසිය ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා නිල නිවේදනයක්ද ලබා ගැනීමට කටයුතු කළේය.

හෙට්ටිආරච්චි 2017 වසරේ අප්‍රේල් 17 වැනි දින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් මැලේසියාව බලා පිටත්ව ගියේය.

හෝටල් සේවකයකු ලෙස ඔහු එරටදී කටයුතු කළේය. එරටදී ඔහු ඉවුම් පිහුම් කටයුතුද ඉගෙන ගත්තේය.

නැවත ඔහු මෙරටට පැමිණෙන්නේ මේ වසරේ මාර්තු මුල් සතියේය. කඩවත හුණුපිටිය ආදී ප්‍රදේශවල සැඟවී සිටිමින් සිටි හෙට්ටිආරච්චි පුවත්පත් දැන්වීම් හරහා රස්සාවක්ද සෙව්වේය.

‍ෙදාම්පේ, හේනගම ප්‍රදේශයේ පොල්වත්තක් බලාගැනීමට මුරකරුවකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් හෙට්ටිආරච්චිගේ නෙත ගැටුණේය. ඉවුම් පිහුම් දන්නා අයකු වීම වඩාත් සුදුසු බව එහි දක්වා තිබිණි.

ඒ අනුව හෙට්ටිආරච්චි ‍ෙදාම්පේ ප්‍රදේශයට පිටත්ව ගියේය. එම පොල්වත්තේ හිමිකරු හමුවූ හෙට්ටිආරච්චි ඔහු සතුව තිබූ ව්‍යාජ හැඳුනුම්පතද එම හිමිකරුට පෙන්වීය.

එය අක්කර 10ක පමණ පොල්වත්තකි. එහි හිමිකරු විසින් එම වත්තේම සති අන්ත දවස් දෙකෙහි ගුරුවරුන් යොදවා ගමේ දරුවන්ට නොමිලේ ශිෂ්‍යත්ව පන්තියක්ද පවත්වයි.
එම ගුරුවරුන්ට අවශ්‍ය ආහාරපාන සෑදීමේ කටයුතුද සිදුකරන ලෙස හිමිකරු විසින් හෙට්ටිආරච්චිට පැවැසීය.

"අශෝක" ලෙස පෙනී සිටි හෙට්ටිආරච්චි මේ වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද එළැඹීමට දින කිහිපයකට පමණ සිට එම පොල් වත්තේ මුරකරු ලෙසත් අරක්කැමියා ලෙසත් වූ ඔහුට පැවරුණු රාජකාරිය සිදුකිරීමට භාර ගත්තේය.

අශෝක අලුයමින් අවදි වේ. පොල් වත්ත සුද්ද පවිත්‍ර කරමින්, පොල් ගස්වලට සාත්තු කරමින් ඔහු සිය නව වෘත්තිය කරගෙන ගියේය.

රාත්‍රි කාලයටද විදුලි පන්දමක් අතින් ගෙන ඔහු පොල්වත්ත මුර කරයි.

සති අන්තයේ පොල්වත්තේ පැවැත්වෙන ශිෂ්‍යත්ව පන්තියට පැමිණෙන දූදරුවන්ද ඔහු විසින් ආදරයෙන් බලා ගනී.

ගුරුවරුන්ටද රස ආහාරපාන සකසා දෙයි.

ඔහුගේ මේ ක්‍රියා නිසාම ඔහු සති කිහිපයක් ගතවීමටත් ප්‍රථම ඉඩම් හිමිකරුගේ සිත් දිනා ගැනීමට සමත් විය.

මෙතරම් ක්‍රියාශීලී අයකු එම හිමිකරුට මීට පෙර හමු වී නොතිබිණි.
කොණ්ඩෙයි, රැවුලයි වවාගත් මේ හාදයාට හොඳින් සැලකීමටද ඉඩම් හිමිකරු වගබලා ගත්තේය.

ඒ නිසාම "අශෝක" ලෙස පෙනී සිටි හෙට්ටිආරච්චි සිවු වතාවක්ම සිය බිරිය සහ දරුවන් දෙදෙනා පොල්වත්තට ගෙන්වා ගත්තේය.

එම පොල්වත්තේ ආරක්ෂාවට පොලිස් අස්සන් පොතක්ද දමා තිබිණි. ‍ෙදාම්පේ පොලිසියේ නිලධාරීන් රාත්‍රියට එම පොතෙහි අස්සනක්ද තබා යන්නේය.

පොල්වත්තේ මුරකරු වූ හෙට්ටිආරච්චිද සමහර අවස්ථාවලට පොලිස් නිලධාරීන් සමඟ කුළුපගව කතාබස් කරන්නේය.

ඉකුත් 13 වැනි දින හෙට්ටිආරච්චි නැවත කොළඹට පැමිණෙන්නේ මුදල් වගයක් ලබා ගැනීමටය. කොළඹ වරායේ කටයුතුවලට ඔහු විසින් කුලී පදනම මත ලොරි රථයක් යොදවා ඇත.

ඔහු අත්අඩංගුවට ගත් දින ඔහුගේ බිරියගේ උපන් දිනයද යෙදී තිබෙයි. බිරියට මුදල් ලබාදීම සඳහා තමා කොළඹට පැමිණි බව ඔහු රහස් පොලිස් නිලධාරීන්ට පවසා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ සෘජු අධීක්ෂණය මත සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් විසින් ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

මෙම ඝාතන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු සම්පත් මුණසිංහ, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක, නාවික හමුදාවේ හිටපු බුද්ධි නිලධාරි රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් ගම හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඉහළ ගෙදර ධම්මික ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණි සහ බුද්ධි නිලධාරි අරුණ තුෂාරද මෙන්ඩිස් යන අය මේ වනවිට ඇප මත නිදහස්ව සිටී.

අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය මෙහි ප්‍රධාන සැකකරු ලෙස රහස් පොලිසිය හඳුන්වනු ලබයි.

එසේම ඔහු "නේවි සම්පත්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අය බවද රහස් පොලිසිය සඳහන් කරයි.

චාමර අමරසූරිය

ඒ සම්පත් හා මේ සම්පත්

කප්පම් ගැනීමේ අරමුණින් තරුණයන් 11 දෙනකු පැහැර ගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය 'නේවි සම්පත්' ලෙසට මාධ්‍යයට හඳුන්වාදිමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළේය.

ඒ ඔහු ප්‍රථම දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ ඉකුත් 13 වැනිදාය. එදින මෙම නඩුව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා තිබුණේ මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ 'නේවි සම්පත්' බවටය.

එම පුවත එලෙස මාධ්‍ය ගණනාවක වාර්තා විය.

ඊට පෙරාතුව මෙම සිද්ධියට අදාළවත් නාවික හමුදාව තුළත් 'නේවි සම්පත්' ලෙසට ප්‍රසිද්ධියට පත්ව සිටියේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහය.

කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ වත්මන් උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතාට 2009 වසරේදී රහසිගත තොරතුරක් ලැබී තිබුණේ නාවික හමුදාවේ කිසියම් කණ්ඩායමක් කප්පම් ගැනීම සඳහා තරුණයකු පැහැර ගෙන ගොස් ඇති බවටය. එවකට ඔහු බටලන්ද අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක පදවිය දැරූ නාවික කපිතාන්වරයෙකි.

ඔහුගේ මිතුරකු වූ රාමන් ප්‍රභාකරන් ප්‍රභා යන අය ඔහුට හමුවී පවසා ඇත්තේ තමාගේ සොහොයුරියගේ පුත්‍රයා නාවික හමුදා කණ්ඩායමක්් පැමිණ පැහැරගෙන ගොස් ඇති බවය.
මෝදර පදිංචිව සිටි රජිව් නාගනාදන් යන එම තරුණයා නිවැසියන් සමඟ කතා බස් කරන දුරකථන සංවාදය ඇතුළත් සීඩී පටයක් එම තැනැත්තා නාවික කපිතාන්වරයා හමුවේ වාදනය කර ඇත.

කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට අවබෝධ කරගත් නාවික කපිතාන් ජගත් රණසිංහ වහාම ඒ ගැන එවක නාවික හමුදාපති ධුරය හෙබවූ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නාවික සහායකයා වූ කොමදෝරු උදය බණ්ඩාරට මෙම සිද්ධිය සැල කළේය.

යුද්ධයේ අවසන් සති කිහිපයේ ලද මෙම තොරතුරු සම්බන්ධයෙන් වහාම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළේය.

එහිදී මෙම සිද්ධියට චොදනා එල්ල වූ එක් අයකු වූයේ නාවික හමුදාපතිගේ ආරක්‍ෂක නිලධාරියකු වූ නිලන්ත සම්පත් මුණසිංහ හෙවත් 'නේවි සම්පත්ටය.

එම විමර්ශනය අනුව අනිවාර්ය නිවාඩු යවන ලද සම්පත් මුණසිංහගේ කාමරයේ තිබී ජීව උණ්ඩ, විදෙස් ගමන් බලපත්‍ර, වෙනත් අයගේ ජාතික හැඳුනුම්පත්, බැංකු ගිණුම් කිහිපයක් හමුවීමත් සමඟ නාවික හමුදාපතිවරයා ඒ පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

සිදුවූ අභ්‍යන්තර විමර්ශන කාලය තුළ ඔහු නාවික හමුදාවෙන් ඔහු පලා ගියේය. ඊට ප්‍රථමව ඔහු එම්.ඒ.ඩී.එන්. සම්පත් යන නම එම්.ඒ.ඩී.එන්.එස්. මුණසිංහ ලෙසට වෙනස් කිරීමට කටයුතු කළේය. ඒ 2009 වසරේ පෙබරවාරි 3 වැනිදාය. ඊට ඔහු සුබසෙත පුවත්පතේ දැන්වීමක්ද දැමුවේය.

අභ්‍යන්තර විමර්ශනය සිදුවන කාලයේ ඔහුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන දෙකක පමණ මුදලක් තිබූ නිසා ඒවා නීත්‍යනුකූල නොවන ලෙස උපයා ඇති බවට නාවික හමුදා ඉහළ නිලධාරීහු සැකයක් ඇති කර ගත්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ්ගේ ඝාතන සිද්ධියට අදාළව නේවි සම්පත් වූ සම්පත් මුණසිංහ නමැත්තා 2015 මාර්තු මස 13 වැනි දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එසේම ඔහුට තරුණයන් 11 දෙනකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට චෝදනා එල්ල විය. ඒ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටී.

ඉකුත් 13 වැනිදා අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයවද ශ්‍රී ලංකා පොලිසිය විසින් 'නේවි සම්පත්' ලෙස නම් පටබැඳීමට පටන් ගත්තේ ඉකුත් වසරේය.

ඒ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්' සිදුවන විමර්ශනයන් සඳහා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව මාධ්‍ය වෙත නිවේදනය කරමිනි.

පසුගිය සතය තුළ රහස් පොලිසියට කොටුවූ හෙට්ටිආරච්චි නමැත්තා ප්‍රථම වරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව මාධ්‍ය වෙත හඳුන්වා දුන්නේ 'නේවි සම්පත්' ලෙසටය.

ඒ අනුව ඇත්ත 'නේවි සම්පත් ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහද, නැතහොත් නේවි සම්පත් ලෙස දැන් හඳුන්වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිද යන්න පිළිබඳ කසුකුසුවක් සමාජයේ හටගෙන ඇත.

බුද්ධිනාත් කුලසූරිය 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon