කාන්තා රැඳවියෝ ගහට නැඟල වහලෙට බැහැල අම්මව ඉල්ලපු හිරගෙදර හුටපටේ

  👤  3099 readers have read this article !
By mawbima 2018-08-19

දනුජය අමරකෝන්

වැලිකඩ කාන්තා සිරමැදිරියේ රැඳවියන් පිරිසක් ඉකුත් 13 වැනිදා අලුයම ක්‍රියාත්මක කළ දිනෙක උද්ඝෝෂණ ව්‍යාපාරය, 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන පාඨය යළි යළිත් සිහිපත් කරවන්නක් විය. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කාන්තා රැඳවියන් 40 දෙනකු පමණ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගි වී සිටි අතර වරින් වර දස දෙනා බැගින් එම කාන්තා පිරිස වැලිකඩ කාන්තා අංශයේ වහල මත නැඟී සිටියහ. ඒ ඉකුත් 13 වැනිදා අලුයම් කාලයේ සිටය.

එදින උදෑසන 6.00ට පමණ සිර කුටිවල ‍ෙදාරටු විවෘත කිරීමත් සමඟම ඉන් පිටතට පැමිණි මෙම පිරිස අසල ගස්වල අතුවලට නැඟ වහලයට ගොඩවූ අතර එදින රාත්‍රි කාලයේද ඔවුන් එම ස්ථානයේම සිටිනු දක්නට ලැබිණි. 'අපේ අම්මා අපට ඕනෑ' යනුවෙන් ලියැවුණු විරෝධතා පුවරු රාශියක්ද සහිතව සිටි මොවුන්ගේ ඉල්ලීම් ලෙස දක්වා තිබුණේ මොවුන්ට එරෙහිව පවතින නඩු කටයුතු කඩිනම් කරන ලෙසත්, බන්ධනාගාරය තුළ තමන්ට හිමිවිය යුතු සනීපාරක්‍ෂක කටයුතු විධිමත්ව ලබාදෙන ලෙසත් ඇතුළු කාරණා කිහිපයකි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසන ආකාරයට මෙම උද්ඝෝෂණයට දායක වී ඇත්තේ මත්කුඩු ජාවාරමට, මුදල් වංචාවන්ට හා වෙනත් කටයුතුවලට සම්බන්ධ රැඳවියන් පිරිසකි. කෙසේ වෙතත් මොවුන්ගේ ඉල්ලීම් අතර රැඳවියන්ට පිටතින් රැගෙන එන ආහාර පාන සීමා නොකිරීම, ස්ථාන මාරු ලැබ සිටින කාන්තා අංශයේ හිටපු ප්‍රධාන ජේලර්වරිය වූ දිස්නා විජේකාන්ති මහත්මිය නැවත ගෙන්වාදීම සහ දැනට සිටින වාට්ටුවලින් වෙනත් වාට්ටුවලට මාරු නොකිරීම යන්න බවටද සඳහන් විණි.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටි දීර්ඝකාලීන සිරදඬුවම් විඳි කාන්තාවක් 300කට ආසන්න පිරිසක් ඉකුත් දිනෙක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවනු ලැබිණි. ඒ හේතුවෙන් හිස්වුණු සිරමැදිරි තුළට සැකකාරියන් කිහිප දෙනකු වෙන් වෙන් වශයෙන් යොමු කිරීමට බන්ධනාගාර කාන්තා අංශයේ පාලනාධිකාරිය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන්ද කාන්තා රැඳවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරිනියන් අතර ගැටුමක් හටගෙන තිබුණේ ඉකුත් 11 වැනිදාය.

හූ කියමින්, කෑ ගසමින් දැඩි නොසන්සුන්කාරී අන්දමට හැසිරී ඇති මෙම රැඳවියන් පාලනය කිරීමට නිලධාරිනියන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවී තිබිණි.

කාන්තා රැඳවියන් 300ක් පමණ රඳවා ඇති වැලිකඩ කාන්තා අංශයේ අලුත්ම 'රඟපෑම' ආරම්භ වන්නේ ඉකුත් 06 වැනිදාය. ඒ ප්‍රධාන ජේලර්වරිය වූ කේ.ඩබ්ලිව්.ඩී විජේකාන්ති මහත්මිය නොහොත් රැඳවූවන්ගේ 'දිස්නා මැඩම්' යන අය වැලිකඩ සිට බදුල්ල බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කරනු ලැබූ දා සිටය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව බන්ධනාගාරය විධිමත් තත්ත්වයට පත්කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නිලධාරීන් 12 දෙනකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ ඉකුත් 01 වැනිදාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන ආකාරයට මෙම මාරුවීම් සිදු කරනු ලබන්නේ අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියගේ අස්සනින් යුතු එම ස්ථාන මාරුවීම් ලද බන්ධනාගාර උසස් නිලධාරීන්ගේ නාම ලේඛනයේ සිටි එකම කාන්තාව වූයේ වැලිකඩ කාන්තා අංශය භාරව සිටි කේ.ඩබ්.ඩී. විජේකාන්ති මහත්මියය.

'අපේ අම්මා අපිට දෙන්න' යනුවෙන් වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් මුලින්ම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන්නේ 'දිස්නා මැඩම්' ස්ථාන මාරුකොට යැවූ පසු එළැඹි 06 වැනි සඳුදා දිනයේදීය.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ අනුදැනුම මත වැලිකඩ කාන්තා අංශය භාරව නව ජේලර්වරියක පත්වෙයි.

තමන්ට 'දිස්නා මැඩම්'ගෙන් ලද සහන සහ අනුකම්පාව අහිමිව ගිය කල මේ රැඳවියන් නැවත ඇයවම ඉල්ලා සිටින බවත් හිටපු ප්‍රධාන ජේලර්වරිය මත්කුඩු චෝදනාවන්ට ලක්ව සිටින අයට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදුන් බවත් වැලිකඩ කාන්තා අංශයේ තවත් රැඳවියන් පිරිසක් චෝදනා කරනු දැනගන්නට ලැබුණේ මේ අතරවාරයේදීය. ඒ අනුව උද්ඝෝෂකයන් සහ ඔවුන්ට විරුද්ධ කොටසක් ලෙසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය දෙපිලකට බෙදී ගුටි ඇනගෙන තිබිණි. එහි ප්‍රතිඵලය කාන්තා රැඳවියන් හතර දෙනකු බන්ධනාගාර රෝහල් ඇඳ මතට වැටීමය.

සිරමැඳිරියෙන් ආරම්භ කළ උද්ඝෝෂණය වහලය මතට නැඟ අවසන් කිරීමට මෙම උද්ඝෝෂකයන්ට සිදුවූයේ සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබීමෙන් පසුවදැයි යන්න සම්බන්ධයෙන් අදටත් නිවැරැදි තොරතුරු හෙළිවී නැත.

ඉකුත් 13 වැනිදා පෙරවරුවේදී වහලය මත සිටි රැඳවියන් හා සාකච්ඡා කිරීමට බන්ධනාගාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූ නිශාන් ධනසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යොමුවන්නේ අධිකරණ අමාත්‍යවරිය වූ තලතා අතුකෝරල මහත්මියගේ දැනුම්දීමකට අනුවය. එහෙත් තමන්ට සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරිය සමඟ ඍජුව සාකච්ඡා කළ යුතුව ඇති බැවින් බන්ධනාගාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කර දැමීමට උද්ඝෝෂකයන් තීරණය කර තිබිණි.

'වහලේ උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාරවල හොර වැඩ නවත්වනවා' යැයි අධිකරණ ඇමැති ප්‍රකාශ කළ අවස්ථාවක අමාත්‍යාංශ ලේකම්වරිය උද්ඝෝෂකයන්ගේ හඬට ඇහුම්කන්දී තිබුණාය. ඒ අනුව ඉකුත් 14 වැනිදා සවස 6.30ට පමණ කාන්තා රැඳවියන් වහලයෙන් බිමට බසින්නේ අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පත්කළ කණ්ඩායමක් සමඟ සාකච්ඡාවකට මුලපිරීම සඳහාය. අධිකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ උපදෙස් මත එහි ජේ‍යෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ, අමාත්‍යවරියගේ උපදේශිකා පද්මිණි රත්නායක, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමඟ උද්ඝෝෂණයේ යෙදුණු කාන්තාවන් වෙනුවෙන් නියෝජිතයෝ හයදෙනකුද එම සාකච්ඡාවට හවුල් වී තිබිණි. අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙවැනි උද්ඝෝෂණයක් සිදුකිරීම පිළිබඳව තමන් සමාව අයැද සිටින බවත්, ඉදිරියේදී සාමකාමීව හැසිරීමට පොරොන්දු වන බවත් එම නියෝජිත කාන්තාවන් හය දෙනා ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙයි. මේ සිදුවීමත් සමඟ මෙම කාන්තා රැඳවියන් වහලය මතට නැඟ ඉල්ලූ ඉල්ලීම් පිළිබඳ ඔවුන්ට ලැබී ඇත්තේ කුමක්දැයි යන්න ගැටලුවකි.

එම සාකච්ඡාවේදී අදාළ කාන්තාවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ තමන්ට පවතින නඩු පැවරීම් කඩිනමින් කිරීමට හා ඇප ලබාදීම සම්බන්ධයෙන් බලපා ඇති කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම සිදුකර කටයුතු කළ හැකි බවත්, ඒ පිළිබඳ ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවත් සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් එම කාන්තා රැඳවියන්ට දැනුම්දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාරය ගැන දැන් අසා දැනගන්නට මාධ්‍යයටද ඉඩ හසරක් නැත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද දැන් මාධ්‍යට ප්‍රකාශ සිදුකිරීම නවතා දමා ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් නිකුත් කළ විශේෂ පත්‍රිකාවක් හේතුවෙනි.

'මාධ්‍යට කතාකර හදන්න පුළුවන් තැනක් නොවෙයි බන්ධනාගාරය' ඒ අධිකරණ අමාත්‍යවරියගේ අදහසයි.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු කෙරෙන බව රටට ජනතාවට හෙළි කළේ මාධ්‍යයි. ආසන්නතම සිදුවීම වූයේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 'සුසෙයි'ගේ ගෝලයන් දෙදෙනකු සමඟ දෙහිවල ප්‍රදේශයෙන් මතුවන හෙරොයින් කිලෝ එකසිය හතරේ සිදුවීමය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීමකට අනුව කොටුවන මෙම පුද්ගලයන් දෙදෙනා සඳහන් කරන්නේ 'මේ බඩු සුසෙයි'ගේ බඩු ලෙසය. 'සුසෙයි මෙන්ම වෙලේසුදා නොහොත් සමන්තද මෙම මහ පරිමාණ හෙරොයින් ජාවාරම පිටුපස සිටින බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු හෙළි කරමින් සිටියදී ඒ බැව් මාධ්‍ය මඟින් පළවන්නට විය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව සිටින සිරකරුවන්ට 'එල්ලුම්ගහ' ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට යොමුව තිබුණේ මේ මාධ්‍ය හෙළිදරව්වෙන් පසුවය. ජනාධිපතිවරයාගේ එම අවධානයත් සමඟම බන්ධනාගාරය තුළ ආන්දෝලනයක් ඇති කරමින් අමාත්‍යාංශය විසින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථාන ගතකිරීම අරමුණු පෙරදැරිව ඉහළ පුටු කිහිපය පෙරළා දැමීම සිදු කරයි.

ඊට පෙර අධිකරණ අමාත්‍යවරිය විසින් බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හරිනු ලැබුවේ 'සුසෙයි' සම්බන්ධ පරීක්‍ෂණවලදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් පිරිසගේ දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුවය. බන්ධනාගාරය තුළ පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා බුද්ධි අංශය වෙත එල්ල වෙද්දී බුද්ධි අංශය භාරව සිටි යූ.බී. වලිසුන්දර මහතා බන්ධනාගාර මූලස්ථානයෙන් මාරුකර යවනු ලබන්නේ බුද්ධි අංශයද විසුරුවා හරිමිනි. එසේම තවත් බුද්ධි අංශ නිලධාරීන් 05 දෙනකුගේද වැඩ තහනම් කිරීමද සිදුවිය.

බුද්ධි අංශය හදලා තියෙන්නේ 2010 වර්ෂයේදී බවත්, වසර 08ක් ගත වුවත් එම අංශය අදාළ වැටලීම් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කිසිම කෙනකුගේ වගකීමක් නොතිබුණු බවත් අධිකරණ අමාත්‍යවරිය මාධ්‍යට සඳහන් කර තිබිණි.

එසේම දැන් බන්ධනාගාර බුද්ධි අංශය වෙනුවට බන්ධනාගාර පොලිසියක් ස්ථාපිත කර ඇති බවටද ඇය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මානව සම්පත් ස්ථාන ගත කිරීමේ ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් බන්ධනාගාර භාර ඉහළ බලධාරීන් බන්ධනාගාර ප්‍රධාන නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදී බන්ධනාගාරය තුළ සිදුවන දූෂණ තත්ත්වය වසා ගන්න දැයි යන්න ප්‍රබල ගැටලුවක් මතුවන්නකි. එසේ නැතහොත් සිදුවූ වැරැදි නිවැරැදි කර ගන්නට දැයි සිතෙයි.

එමෙන්ම පසුගි 16 වැනිදා තවත් බන්ධනාගාර ඉහළ නිලධාරීන් 18 දෙනකුට ස්ථාන මාරු ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

මුල් ස්ථානමාරුවීම් ලද නිලධාරීන් කණ්ඩායම අතර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් එම්.එල්.එම්. ලාහීර් මහතාද වෙයි. ඒ මහතා වවුනියාව බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති අතර මේ වනතෙක් ඒ මහතා වවුනියාව බන්ධනාගාරය වෙත වාර්තා කර නොමැති බවත් රාජකාරි නිවාඩු මත පසුවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත අනුයුක්ත කර ඇති විශේෂ ශේ්‍රණියේ බන්ධනාගාර අධිකාරිවරයකු වූ ටී.අයි. උඩුකුඹුර මහතා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තුළ දැඩි කතාබහක් මතුව තිබේ. මහර බන්ධනාගාරය තුළ දූෂණය අවම කර යහපත් පාලනයක් සිදු කරමින් උඩුකුඹුර මහතා සිදුකර ඇති සේවය හේතුවෙන් 'වැලිකඩ ගොඩදාන්න' ඒ මහතා ගෙන ඇවිත් ඇති බවට එම කතාබහෙන් කියැවෙයි.

කවුරු කෙසේ කීවද බන්ධනාගාරය තුළ රඳවා ඇත්තේ බහුතරය සාන්තුවරයන් නොවෙති. එසේම දූෂණය නැති කිරීමට හැකියාවක් ඇතැයි අපිද නොසිතමු. එහෙත් එය අවම කළ හැකිනම් එය වටිනා දෙයකි. සමාජ සුබසිද්ධියට පිටිවහලක්ද වෙයි. එහෙත්, අදාළ බලධාරීන් මාධ්‍යයෙන් තොරතුරු වසන් කර දමා වැරැදි වසා ගැනීමට හෝ නිවැරැදි කර ගැනීමට සූදානම් වන්නේ නම් එය විහිළුවකි.

උද්ඝෝෂකයෝ ඉල්ලීම් දිනාගෙන ඇත්ද? ඔවුන් එම උද්ඝෝෂණය සිදුකිරීම පිළිබඳව සමාවද ඉල්ලා ඇත. තොරතුරු කෙසේ පාලනය වුවද වර්තමානය තුළ බන්ධනාගාරය තුළ ජංගම දුරකථන මඟින් පණිවුඩ හුවමාරුව සිදු නොවන බවට කාහට සහතික විය හැකිද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon