බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිගේ පුටුවේ දුක

  👤  3041 readers have read this article !
By mawbima 2018-08-19

රුචිර දිලාන් මධුශංඛ

මහජන මුදල් හොරාකන පුද්ගලයන් ඊළඟ ආත්මයේ උපදින්නේ තිරිසන් සතුන් වී බවට ජනවහරේ වන ප්‍රසිද්ධ කියමනක් තිබේ. බස්නාහිර පළාත් සභාවේ සභා ගර්භයේ සවිකරන පුටු පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇත. එහි එක් පුටුවක වටිනාකම රුපියල් හයලක්ෂ පනස් දහසක් බවට හෙළි වී ඇත. ලක්ෂ හය හමාරකට ගෙන්වන එම පුටු ගැන විස්තර දැනගැනීමට දේශපාලනඥයන් මෙන්ම ජනතාවගේද ඇත්තේ දැඩි උනන්දුවකි. ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මෙම පුටුව නිමකර ඇත්තේ රත්රන්වලින්ද කියාය.

බස්නාහිර පළාත් සභාවේ ගොඩනැඟිලි මෙතෙක් කල් පැවැතියේ විවිධ ස්ථානවලය. සභාව පිහිටා තිබුණේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේය. ප්‍රධාන අමාත්‍ය කාර්යාලය පිහිටා තිබුණේ ශ්‍රාවස්ති මන්දිරයේය. එක් අමාත්‍යාංශයක් නුගේගොඩ ප්‍රදේශයේ කුලී ගොඩනැඟිල්ලක පිහිටා තිබිණි. තවත් අමාත්‍යාංශ දෙකක් බත්තරමුල්ල රන්මගපාය ගොඩනැඟිල්ලේ පිහිටා තිබිණි. සාමාන්‍ය ජනතාවට බස්නාහිර පළාත් සභාවෙන් වැඩක් කරගැනීම සඳහා මුළු කොළඹම ඇවිදීමට සිදුවී තිබුණු බව කවුරුත් දන්නා සැබෑ සත්‍යයි.

දුර බැහැර කළුතර, ගම්පහ සිට පැමිණෙන පුද්ගලයන්ට මෙය මහත් දුෂ්කර කාර්යයකි.
ඉතිහාසය පුරාම ඔවුන් බැට කෑවේ මෙම විහිදී ගිය ආයතන තැන් තැන්වල පිහිටා තිබීම නිසාය. එයට කදිම පිළියමක් ලෙස 2014 වසරේදී හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සමයේ බස්නාහිර පළාත් සභාවේ සියලු ආයතන එකම ස්ථානයකට ගැනීම සඳහා සහ නව පළාත් සභා ගර්භය සහිත 15 මහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබිණි.
මධ්‍යම රජයේ මුදල් ප්‍රතිපාදන මත පළාත් ඉන්ජිනේරු කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැඟිල්ල ඉදිකෙරිණි. තට්ටුවෙන් තට්ටුව ඉදිවීමෙන් පසු පසුගිය මාසයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරුණු මෙම ගොඩගැඟිල්ලේ සභා ගර්භයේ මන්ත්‍රිවරුන්ට අසුන් ගැනීම සඳහා අපූරු පුටුවක් ආනයනය කිරීමට පළාත් සභාවේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමට කටයුතු කළේය.

අලුතෙන් ඉදිකෙරුණු පළාත් සභාවේ සභා ගර්භයට අලුතෙන් පුටු ගැනීමට කිසිදු බාධාවක් ඇතැයි අප සිතන්නේ නැත. පුදුමයට කරුණවන එම එක් පුටුවක් සඳහා රුපියල් ලක්ෂ හය හමාරක් වෙන් කිරීමය. පළාත් සභාවේ සභිකයන් 104 දෙනකු සිටින අතර පුටු 125ක් ආනයනය කර තිබේ.

මෙට්ට්‍රොපොලිටන් ආයතනය හරහා මෙම පුටු ස්පාඤේඤයෙන් ගෙන්වන අතර ඒ සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් 81,250,000කි. (අටකෝටි ‍ෙදාළොස් ලක්ෂ පනස්දාහකි)
මෙපමණ මුදලක් වැය කර පුටු ගෙන්වන්නේ කුමකට දැයි පසුගිය දිනක රැස්වූ පළාත් සභාවේ ගෘහ කාරක සභාවේ පළාත් සභා මන්ත්‍රි ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය. මන්ත්‍රිවරයා එහිදී ගෘහ කාරක සභාවේදී ප්‍රශ්න කර ඇත්තේ පළාත් සභා රැස්වීම නව ගොඩනැඟිල්ලේ රැස්වෙන්නේ කවදාද කියාය.

එහිදී ගෘහ කාරක සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ ඔක්තෝබර් 8 වැනිදා එහි පළමු රැස්වීම පැවැත්වීමට හැකි බවය. එපමණ කලක් ගතවන්නේ මන්දැයි නිපුණාරච්චි මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රශ්න කර ඇති අතර, එහිදී සභාපතිවරයා පවසා ඇත්තේ සභාවේ වැඩකටයුතු අවසන්ව ඇති අතර පුටු ආනයනය කිරීම සඳහා ටික කලක් ගතවන බවය.

එම පුටු ගෙන්වන්නේ විදෙස් රටකින් බව එහිදී හෙළිවී තිබේ. අනතුරුව මන්ත්‍රිවරයා ප්‍රශ්න කර ඇත්තේ එම විදෙස් රටකින් ආනයනය කරන පුටුවක මිල කීයද කියාය. එහිදී හෙළි වී ඇත්තේ එක් පුටුවක් සඳහා රුපියල් හයලක්ෂ පනස් දහසක මුදලක් වැය වන බවය.
දැනට අලුතෙන් ඉදිකර ඇති පළාත් සභා ගර්භය පාර්ලිමේන්තුවේ සභාගර්භයට සමාන හැඩයකින් සහ එහි දළ සැලැස්මකට අනුව ඉතා අලංකාරව සදා තිබේ. ගෘහ කාරක සභාවේදී මීට පෙර එහි සාමාජිකයන් තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇති පුටුවලට සමාන පුටුවක් මෙහි ඉදිකළ යුතුය කියාය. එහිදී යම් වරදක් අපට හැඟෙන්නේ නැත. ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ පුටුවකට සමාන පුටු ගෙන්වීම සඳහා වැය කරන මුදලය.

පළාත් කැබිනට් තීරණයට අනුව පාර්ලිමේන්තුවේ පුටු - ආනයනය කර ඇත්තේ ජර්මනියෙන් වන අතර එම සමාගම දැනට අක්‍රිය තත්ත්වයේ පවතින බවට හෙළි වී තිබේ. දෙවැනි විකල්පය ලෙස මෙට්ට්‍රොපොලිටන් ආයතනය හරහා ස්පාඤ්ඤයෙන් මෙම පුටු ගෙන්වීමට ප්‍රධාන ඉන්ජිනේරුවා ඇතුළු නිලධාරීන් තීරණය කර තිබේ. ඒ සඳහා මෙසේ කැබිනට් මණ්ඩලය අවසර දී ඇති අතර ආණ්ඩුකාරවරයාද කැබිනට් තීරණය අනුමත කර ඇත. ස්පාඤ්ඤයෙන් ගෙන්වන මෙම පුටු වසර 20ක වගකීමක් සහිතය. පුදුමයට කරුණ මෙවැනි පුටුවක් දේශීය සමාගමකින් මිලදී ගැනීමට මෙම කමිටුව තීරණය කර නොතිබීම හා දේශීය සමාගමක් සිටිනවාදැයි සොයා බැලීමට පොඩි හෝ උත්සාහයක් නොදැරීමය.

කෙසේ වෙතත් මේ ගැන ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රිවරයා පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ මෙම පුටු ආනයනය කිරීමේදී යම් අකටයුත්තක් සිදුව ඇති බව බැලූ බැල්මට පෙනී යන හෙයින් ඒ ගැන පරීක්ෂා කර බලන ලෙසය. අනතුරුව ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත්තේ එම ක්‍රියාවලිය තාවකාලිකව නතර කිරීමටය. පුදුමය වන්නේ ඒ ගැන ලිඛිතව දැන්වූ මන්ත්‍රිවරයාට අදාළ ලිපිය තමාට ලැබුණු බවට සඳහනක් සහිත දැන්වීමක් මන්ත්‍රිවරයාට කර නොතිබීමය.

පුටුවේ අරුම පුදුම කතාව ගැන පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය "මව්බිම"ට අදහස් දැක්වීය.

"මේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මගේ දේශපාලනයට මඩ ගහන්න චෝදනාවක් කරනවා. මේ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කළේ නිලධාරි මණ්ඩලයක් මඟින්. මේ ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. මම ප්‍රධාන ඉන්ජිනේරු රණසිංහ මහතා ගෙනල්ලා ප්‍රශ්න කළා. එතකොට තමයි මම විස්තරේ හරිහැටි අහගත්තේ. මෙතැන කිසිදු වංචාවක් වෙලා නෑ කියල මට විශ්වාසයි" යැයි ප්‍රධාන ඇමැතිවරයා කීවේය.

"තත්ත්වය එසේ තිබියදී තවත් හෙළිදරව්වක් ගැන අපට තොරතුරු ලැබී තිබේ. ඒ සභාගර්භය පහළ අලුතින් ඉදිකිරීමට යන කැමරා පද්ධතිය සඳහා නිකුත් කළ ටෙන්ඩර්ය ගැනය. ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදී රුපියල් මිලියන 70කට එක් සමාගමක් ඉදිරිපත් වී ඇති අතර කෙසේ හෝ එය ලැබී ඇත්තේ රුපියල් මිලියන 100ක ටෙන්ඩර් පත්‍රයක් ඉදිරිපත් කළ සමාගමටය. අඩු ටෙන්ඩර් යටතේ කැමරා පද්ධතිය සවිකර ගැනීමේ හැකියාව තිබියදී රුපියල් මිලියන 30ක් ඒ සඳහා වැඩියෙන් වියදම් කරන්නේ කගේ වුවමනාවකට දැයි දැන් අලුතින් ප්‍රශ්නයක් මතුව තිබේ.

පළාත් සභා සුදු අලියකු යැයි නිතර නිතර හඬනඟන යුගයක, එහි වැජඹෙන මහජන නියෝජිතයන් වියදම් කරන මහජන මුදල්වලට වගකිව යුත්තේ කවුද? රට සවාරි ගොස් සැප විඳින මන්ත්‍රිවරුන් එම සභාවලට යවන පුද්ගලයන්ට පෙරළා ‍ෙදාස් නඟන්නට කාලය එළැඹ ඇති බවද නොරහසකි. සවාරි යන කලට ගජ මිතුරු මිතුරුදම් මිහිරිය මීසේය.

මහජන මුදලින් සුඛවිහරණ ලබන ඔවුන්ගේ ඊළඟ ආත්මය ගැන අද ඔවුන්ට ඡන්දය දුන් ඡන්ද දායකයෝම ප්‍රශ්න කරති. එය දෛවයේ සරදමකි. බස්නාහිර පළාත් සභාවේ සභිකයන් මුනිවත රකිනා අරුම පුදුම පුටුවට ආණ්ඩුකාරවරයා දුන් නියෝගය ක්‍රියාත්මක වේදැයි බලා සිටින්නෙමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon