ජාතික රෝහලේ පර්යේෂණ ඒකකයෙන් පාසල් සිසුන් ගැන රතු එළියක් 58%කට විටමින් 'ඩී' උෟනතාවක්

  👤  3053 readers have read this article !
By mawbima 2018-08-19

අරුණි මල්ලවආරච්චි
ඡායාරූපය - සස්සඳ ලියනාරච්චි

නිරෝගී බව හා පෝෂණය සම්බන්ධයෙන් තිබෙන නිර්වචන සොයා අන්තර්ජාලය හා පොතපත පරිශීලනය කළත්, වෛද්‍යවරුන් හා පෝෂණවේදීන්ගෙන් විමසුවත් දැන ගන්නට ලැබෙන්නේ එකිනෙකට වෙනස් ස්වරූපයන් ගත් නිර්වචනයන්ය. රටක් වශයෙන් ගත්තද, සමාජමය, සංස්කෘතිකමය හා භූගෝලීය විසමතා අනුව ගත්තද ඒ සම්බන්ධයෙන් දැකගත හැකි වනුයේ එකිනෙකට වෙනස් වූ අදහස්ය. බොහෝ රටවල තිබෙන ඒ රටට පමණක් ආවේණික වූ ආහාර සංස්කෘතීන් සමඟ මෙම පෝෂණය හා නිරෝගී බව දක්වන්නේ සෘජු බැඳීමකි.

අප ජීවත්වන ලාංකේය සමාජය තුළද තත්ත්වය එසේය. එකම රටක් තුළ වුවත් ආගමික, සංස්කෘතික හා ආර්ථික අතින් එකිනෙකට වෙනස් වූ අදහස්, උදහස්, මතවාද රැසක් නිරෝගී බව හා පෝෂණය සම්බන්ධයෙන් දක්නට ලැබේ. අභාග්‍ය වන්නේ එම මතවාද, අදහස්, උදහස්වලින් බොහෝමයක් ඒවා යල්පිනූ සිරිත් විරිත්, දුර්මත හා නොදැනුවත්භාවය මත පිහිටා ගොඩනැඟුණු ඒවා වීමය. සැබැවින්ම නොදැනුවත්කම හා දුර්මත යනු රටක් තුළ නිරෝගීමත්, සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහි කිරීම වළකාලන විශාල බාධකයකි. එබැවින් මෙරට පැතිරී ඇති සහ පැතිරෙමින් පවතින බොහොමයක් ලෙඩ රෝග සහ උෟනතාවන්ට බලපාන එක් ප්‍රධාන හේතුවක් ලෙස නොදැනුවත්කම හා වැරැදි මත දැරීම සඳහන් කළ හැකිය. ආර්ථික දිළිඳු බවද එක් හේතුවකි. මේ සියල්ල තුළින්ම අපට අහිමි වන්නේ නිරෝගීමත් ශ්‍රම දායකත්වයයි. මෙය දියුණු වෙමින් පවතින අප වැනි රටවලට පමණක් නොව දියුණු යැයි සම්මත බොහෝ රටවලටද බලපා ඇති ප්‍රධාන ගැටලුවකි.

2017 වසරේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණ ඒකකයෙන් වයස අවුරුදු 10 - 18ත් අතර ලංකාවේ පාසල් සිසුන් යොදාගෙන සිදුකළ ජාතික සමීක්ෂණයකින් හෙළි වූයේ මෙරට පාසල් සිසුන්ගෙන් 58% ප්‍රතිශතයකට විටමින් ඩී පදාර්ථය උෟන වී ඇති බවක්ය. 58%ක් යනු රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකි. එබැවින් එය සුළුකොට තැකිය නොහැකිය.

ඒ අතර එම වයස් කාණ්ඩයම යොදා ගනිමින් අධිබර හා ස්ථුලතාව සම්බන්ධයෙන් කෙරූ සමීක්ෂණය තුළින් අනාවරණය වී තිබුණේ වසර 12ක් ඇතුළත එම දරුවන් අතර 200%කින් අධිබර හා ස්ථූලතාව වර්ධනය වී ඇති බවකි. මෙම තත්ත්වයන් දෙකම මුළු රටම මහත් ව්‍යසනයකට ඇද දමන පෙරනිමිත්තක් බවට රතු එළි දල්වා හමාරය. මෙරට දරුවන්ගෙන් අඩකටත් වඩා එවැනි අනතුරකට ඇද දැමීමට බලපෑ ප්‍රධාන හේතූන් අතරින් දුර්මත හා නොදැනුවත්කම ඉදිරියෙන් සිටියි.

වෛද්‍යවරුන්, පෝෂණවේදීන් නිවැරදි ආහාර පුරුදු සහ සුවපත් දිවිය පිළිබ¼දව කොතෙක් කතා කළද මිනිසුන් පුරුදුව සිටින්නේ ගුණ පසෙක තබා රස අහරක් කුසපුරා ගෙන කුසීතව දිවිගෙවීමට නම් රට තුළ පෝෂණ වෛද්‍ය ඒකක කොතෙක් ස්ථාපිත කළද රෝහල්වල පහසුකම් වැඩිදියුණු කළද ඉන් පලක් නැත. ප්‍රශ්නයට විසඳුම් ඇත්තේ යහපත් ආකල්පමය වෙනසක් තුළය. ඒ සඳහා මහත් වූ ප්‍රයත්නයක් දරනා පෝෂණවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙම සමීක්ෂණය පිළිබඳව 'මව්බිම'ට අදහස් දැක්වූවාය.

"අපි මෙම ජාතික සමීක්ෂණය කළේ 2017 වසරේදී. අපි මෙතැනදී නියැදිය වශයෙන් භාවිත කළේ ලංකාව පුරාම සිටින පාසල්වල වයස අවුරුදු 10 - 18ත් අතර දරුවන්. මේ වන විට ලොව බොහෝ දියුණු යැයි කියන රටවල දරුවන් විටමින් ඩී උෟනතාවයෙන් පෙළෙනවා. ඉතින් අපිට හිතුණා අපේ රටේ දරුවන්ගේ එම තත්ත්වය කොහොමද බලන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙනත් රටවල භූ විසමතාව පිහිටීම් අනුව හිරු එළිය වැටෙන්නේ මාසයක්, දෙකක් වැනි සීමාසහිත කාලයක්. ඒ නිසා තමයි ඔවුන්ට විටමින් ඩී අඩු. නමුත් අපේ රටට එවැනි ගැටලුවක් තිබෙන්න ඇති සම්භාවිතාව අඩුයි. නමුත් අවාසනාවකට එම සමීක්ෂණයට අනුව අපේ ළමයින්ගෙන් 58%ක් විටමින් ඩී උෟනතාවෙන් පෙළෙනවා. ඒ අනුව තමයි වයස 10 - 18 අතර පාසල් දරුවන්ගෙන් 58% ප්‍රතිශතයකට විටමින් ඩී උෟන බවට අපි ප්‍රකාශ කළේ.

විටමින් ඩී යැයි සඳහන් වන විටම අපිට නිරායාසයෙන් සිහියට නැඟෙන්නේ හිරු එළියයි. කුඩා වියේ සිටම අප මනසේ කා වැදී ඇත්තේ උදෑසන හිරු එළියෙන් විටමින් ඩී ලැබෙන බවකි. දින 365 පුරාම හොඳින් සූර්යාලෝකය පතිත වන සමකය ආසන්න රටක් ලෙස හැඳින්වෙන අපේ රට තුළත් හිරුඑළියෙන් ලැබෙන විටමින් ඩී උෟන වීම විස්මයට හේතුවකි.

ඒ සම්බන්ධයෙන් අප වෛද්‍යතුමියගෙන් කළ විමසීමේදී ඇය පැවැසුවේ මෙවැන්නකි.
"ඇත්තටම හිරුගෙන් තමයි විටමින් ඩී ලැබෙන්නේ. අපිට ඉතා පහසුවෙන්, නොමිලයේම හිරුගෙන් විටමින් ඩී ලබා ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ විටමින් ඩී ලැබෙන්නේ උදෑසන සූර්යයාගෙන් කියලයි. නමුත් උදෑසන 10.00 - 12.00 දක්වා අතර කාලය තුළයි අපිට වැඩිපුරම ඉරෙන් විටමින් ඩී ලබා ගන්්න පුළුවන් වෙන්නේ. විටමින් ඩී කියන්නේ පුද්ගල නිරෝගීභාවයට බෙහෙවින් ඉවහල් වන පදාර්ථයක්. එය උෟන වීමෙන් විශාල සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්. අපි දන්නවා බොහොමයක් වෙලාවට ළමයි ඉස්කෝලේ යන්න උදේම නැඟිටිනවා. සමහර වෙලාවට ඉර පේන්නවත් නැති පාන්දරම පාසල් යනවා. ඊට පස්සේ පන්ති කාමරය තුළට වී ඉගෙනීම් කටයුතුවල නිරතවෙනවා. හිරු එළියට යන්න අවස්ථාවක් නැහැ. අපේ මවුපියොත් ළමයින්ට අව්වට යන්න දෙන්නේ නැහැ රස්නෙයි, ලෙඩ වෙනවා. කළු වෙනවා කියලා. ඉතින් මේකත් ප්‍රධාන ගැටලුවක්.

විටමින් ඩී හිරුගෙන් නොලැබෙනවා නම් විටමින් ඩී අඩංගු ආහාර ලබා ගන්න අවශ්‍යයි. නමුත් එම ආහාරවල තිබෙන්නේ විටමින් ඩී පුංචි ප්‍රමාණයයි. එය දෛනික විටමින් අවශ්‍යතාව පූර්ණය කරන්නේ නැහැ. මේ සමීක්ෂණයට අනුව මධ්‍යම පළාත තුළ සිටින දරුවන්ට වැඩි වශයෙන් විටමින් ඩී උෟනයි කියලා අපි දැනගත්තා. මොකද ඒ පළාතේ සීතල දේශගුණය නිසා බොහෝ අය ඉන්නේ ජර්සි වැනි ගන ඇඳුම් ඇඳගෙන. ඔවුන් සීතල නැතිව තිබෙන වේලාවටත් එම ඇඳුම් පුරුද්දට මෙන් අඳිනවා. ඉතින් ඔවුන්ට විටමින් ඩී ලැබෙන්නේ අඩුවෙන්. ඒ වගේම සබරගමුව පළාතේ දරුවන්ටත් එම ගැටලුවම බලපාලා තිබුණා. නමුත් හිරුඑළිය හොඳින් ලැබෙන, රස්නය ඇති අනුරාධපුර, පොළොන්නරු වැනි දිස්ත්‍රික්කවල ජීවත්වන දරුවන්ගේ දෛනික විටමින් ඩී අවශ්‍යතාව හොඳින් පූරණය වී තිබුණා.

විටමින් ඩී උෟනතාව සුළුකොට තකන්න බැහැ. එය දිගුකාලීන රෝගවලට අතවැනීමක්. පිළිකා, දියවැඩියාව, බරපතළ රෝග වැලඳීමේ අවදානමක් වගේම මාංසපේශී වේදනාව, අස්ථි වේදනා වගේ දේවල් විටමින් ඩී උෟන වූ විට වැලඳිය හැකියි. මේ වගේ රෝගාබාධ වැලඳීම විශාල සමාජ ප්‍රශ්නයක්. දැනටමත් ඔබේ දරුවාට මෙවැනි මාංසපේශි වේදනා අස්ථි සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඒ විටමින් ඩී උෟනතාවේ ප්‍රතිඵල විය හැකිය.

මෙතැනදී මවුපියන්ට විශේෂ වගකීමක් තිබෙනවා මුලින් තමන් හිතන් ඉන්න වැරදි අදහස්වලින් ඉවත් වෙන්න ඕනෑ. මොකද මවුපියෝ හිතන් ඉන්නවා අව්වේ හිටියාම පිළිකා හැදෙනවා, කළු වෙනවා ලෙඩ වෙනවා කියලා. දවසට විනාඩි 5ක් 10ක් අව්වේ හිටියට කළු වෙන්නෙත් නැහැ. පිළිකා එන්නෙත් නැහැ. මොකද අපිට ස්වභාවයෙන්ම පිහිටා තිබෙන්නේ මෙලනින් වැඩි තලෙළු පැහැ සමක්. ඒ නිසා අව්වට පිච්චෙනවා අඩුයි. ඒ නිසා බය නැතිව තමන්ගේ දරුවව දවසේ විනාඩි 5ක් උදේ 10 - 12 අතර අව්වට නිරාවරණය කරන්න පුළුවන්.

සුදු පැහැ සමක් තිබෙන කෙනෙක් නම් විනාඩි 5ක් වගේ වේලාවකුත් තරමක් තලෙළු පැහැ කෙනෙක් නම් විනාඩි 10ක් 15ක් වගේ වේලාවක් උදෑසන 10 - 12 අතර හිරුඑළියේ ගත කළ යුතුයි. එයින් ඔබේ දෛනික විටමින් ඩී ප්‍රමාණය ලැබෙනවා. ඇත්තටම ළමයින්ගේ වර්ධනය ප්‍රශස්ත මට්ටමට යන අවුරුදු 10 - 18 වයසේදී මේ වගේ අතවශ්‍ය විටමිනයක් උෟන වීම බරපතළ ගැටලුවක්. නමුත් මේක අපිට ඉතා පහසුවෙන් කඩිනමින් විස¼දා ගත හැකි ගැටලුවක්. අඩුම තරමේ ඔබේ දරුවාට කියන්න කෑම පැයේදීවත් පිට්ටනියට ගිහින් සෙල්ලම් කරන්න කියලා. ඒකත් හොඳටම ප්‍රමාණවත් මේ ගැටලුවෙන් මිදෙන්න. නමුත් ඒ උදේ 10 - 12 අතර වේලාවේදී බව සිහිතබා ගත යුතුයි.

ඒ වගේම විටමින් ඩී අඩංගු ආහාර ලබාදීමත් කළ හැකියි. බිත්තර කහ මද, සැල්මන් වැනි කුඩා තෙල් සහිත මසුන්, කිරි, මෝරතෙල්වල විටමින් ඩී අඩංගු වෙනවා. ඔබ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නකොට ඇසුරුම හොඳින් බැලූවම එහි විටමින් ඩී අඩංගුද නැද්ද බලාගන්න පුළුවන්. ඒ වගේම ආහාරවලින් 100% විටමින් ඩී ලබා ගන්න නොහැකි වුවත් යම්තාක් දුරට එය සපුරා ගන්න පුළුවන්.

විටමින් සම්බන්ධයෙන් අප සමාජයේ පැතිරී ඇති දුර්මත රැසකි. විවිධ වූ බෙහෙත් පෙති සම්බන්ධයෙන් ඇති බිය විටමින් වර්ග කෙරෙහි දක්වන්නේ නැත. ඒවා තමාගේ රුචිකත්වය අනුව ඕනෑතරම් ප්‍රමාණයක් ඔසුසල් මඟින් මිලදී ගැනීමට බොහොමයක් දෙනා හුරු වී සිටිති. එසේම මේ තත්ත්වයට විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනයන් අලෙවි කරන රූපලාවණ්‍ය ශිල්පීන් සහ ආයතනද වගකිව යුතුයි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ පාරිභෝගිකයන් වෙත තම නිෂ්පාදන කවර හෝ ක්‍රමයකින් විකුණා ගැනීමයි. අප වෙළෙඳ දැන්වීම් හරහා අසවල් විටමින්වලින් සපිරියි යැයි කියා ගන්නා රූපලාවණ්‍ය නිෂ්පාදන හා පෝෂණ අතිරේකයන් දකින්නේ එකී ප්‍රතිඵලයන් ලෙසින්ය. මේ සම්බන්ධයෙන් වෛද්‍යතුමිය අපහට අදහස් දැක්වූවාය.

"බොහොමයක් වෙලාවට අපි දකිනවා කොස්මටික්ස් එහෙම නැත්නම් රූපලාවණ්‍ය නිෂ්පාදන හරහා විටමින් අපිට සමීප කරවීමට කරන උත්සාහයන්. නමුත් වෛද්‍යවරයකුගේ අනුමැතිය නොමැතිව විටමින් පාවිච්චි කිරීම අනුමත කරන්න බැහැ. අපි උදාහරණයකට විටමින් ඩී අඩංගු මෝරතෙල් දිගුකාලීනව ලබාගත්තොත් අපිට එයින් විවිධ සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මෝරතෙල්වල විටමින් ඩී වගේම විටමින් ඒ අඩංගුයි. විටමින් ඩී ගන්න හිතාගෙන අපි නොකඩවා මෝරතෙල් ගත්තොත් අපිට විටමින් ඒ වැඩිවෙන්න පුළුවන්.

දිගුකාලයක් විටමිනයක් එක දිගට ලබාගැනීමත් නොකළ යුතුයි. විටමින් අඩුවෙනවා වගේ නෙමෙයි විටමින් වැඩි වුණොත් විශාල අවදානමක්. අනිත් කාරණය තමයි විටමින් ඩී පරීක්ෂාව තමන්ට ඕනෑ වෙලාවක කරගන්න බැහැ. පෞද්ගලික අංශයේ රෝහල්වලින් විටමින් ඩී පරීක්ෂා කරගන්න ඔබට ලොකු මුදලක් වැය කරන්න වෙනවා. රජයේ රෝහල්වලිනුත් කොළඹ ජාතික රෝහලේ පමණයි ඒ පරීක්ෂාව කරන්නේ. නමුත් වෛද්‍ය නිර්දේශය නැතිව එය කරන්න බැහැ. මොකද මේ සඳහා රජය විශාල මූල්‍ය පිරිවැයක් දරනවා. ඒකත් සිහි තබාගත යුතුයි. ඕනෑම පුද්ගලයකුට දවසකට විටමින් අවශ්‍යයි කියලා නිර්දේශිත ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඒ මට්ටමට අඩුවෙන්වත් වැඩියෙන්වත් විටමින් ලබාගත යුතු නැහැ. බොහෝ දෙනෙක් විටමින් බී වැනි පදාර්ථයන් ජලයේ දියවෙන නිසා ඕනතරම් ගත්තාට ගැටලුවක් නැහැ කියලා හිතනවා. නමුත් එය ඉතාම අනුවණ ක්‍රියාවක්. විටමින් අවශ්‍යතාව ආහාර වලින්ම ලබාගන්න එක තමයි වඩාත්ම හොඳ.

එම සමීක්ෂණයෙන් හෙළි වූ අනෙක් ගැටලුව වන්නේ අවුරුදු 10 - 18 වයස් කාණ්ඩයේ දරුවන් අතර පැවැති අධිබර හා ස්ථුලතාවයි. මෙයද ඉදිරියේදී අප රටට විශාල වශයෙන් බලපෑම් කරන්නට සමත් වන සෞඛ්‍ය ගැටලුවකි. මේ සම්බන්ධයෙන්ද රේණුකා ජයතිස්ස විශේෂඥ වෛද්‍යවරිය අදහස් දැක්වූවාය.

අවුරුදු 10 - 18 වයස් කාණ්ඩ යොදාගෙන අපි 2005 වසරේත් අධිබර හා ස්ථූලතාව ගැන සමීක්ෂණයක් කළා. ඉන්පසුව නැවතත් අපි 2017දී එම සමීක්ෂණය කළා එම වයසේ දරුවන් යොදාගෙන. එතැනදී අපි දුටුවා වසර 12 ඇතුළත දරුවන් අතර අධික බර හා තරබාරුකම 200%කින් වැඩි වී තිබෙන ආකාරය. ඇත්තටම මේකත් ලොකු සෞඛ්‍ය ගැටලුවක්.

මෙවැනි දෙයක් වෙන්න බලපාන එක් ප්‍රධානම ගැටලුව තමයි අපේ ආහාර රටාවේ තිබෙන අසමතුලිත බව. ආහාර රටාව සහ පෝෂණය පිළිබඳව නොදැනුවත්කම් රැසක් අපේ තිබෙනවා. බොහෝ දරුවන් පාසල් යන්න උදේ නැඟිටිනවා. ඊට පස්සේ කිරි වීදුරුවක් බොනවා. කිරි වීදුරුව තිබෙන මේදය නිසා බඩ පිරෙනවා. නැවත උදේට කන්න බැහැ. වේලාව නැතිකම නිසා. 30%ක් වගේ ප්‍රමාණයක් දරුවන්ට උදේට ලැබෙන්නේ කිරි වීදුරුව පමණයි. අනිත් කාරණය තමයි අපේ මවුවරු සීනි, ලුණු, තෙල් අධික කෑම වේලක් තමයි දරුවන්ට දෙන්නේ. එය ඉතාම නරක තත්ත්වයක්. තවත් 60%ක් පමණ දරුවෝ බිස්කට් කන්න පෙලඹිලා ඉන්නවා. බිස්කට්වල තියෙන්නේ සීනි, පිටි සහ මේදය. විශාල කැලැරි ප්‍රමාණයක් ශරීරයේ තැන්පත් වුණාට එය දහනය කරන්න අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ බර වැඩි වෙනවා.

අපි දකිනවා අවුරුදු 5ත් 9ත් අතර වයසේ දරුවෝ හරිම ක්‍රියාශීලීයි. නමුත් මෙය අවුරුදු 10න් පස්සේ අඩුවෙනවා. පසුව එය ක්‍රමයෙන් නැතිම වෙලා යනවා. මේ වයසේ දරුවෝ වේගයෙන් වර්ධනය වෙන නිසා නිතරම බඩගිනි වෙනවා. ඉතින් අම්මලා දෙන්නේ තෙල්, පිටි, සීනි, ලුණු අධික කෑම. තුන් වේලටම බොහෝ දරුවන්ට ලැබෙන්නේ ලුණු, තෙල්, සීනි අඩංගු ආහාර වේල්. මේ දරුවෝ හොඳට කනවා. නමුත් ඒවා දහනය වෙන්න ව්‍යායාමවල යෙදෙන්නේ නැහැ. ඔවුන්ට එවැනි අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන්න කාලයක් නැහැ. ඉගෙනුම් කටයුතු නිසා. ඇත්තටම මේකෙන් වෙන්නේ උගත් ලෙඩුන් සමාජයට දායාද කිරීමයි. මෙතැනදී මවුපියන්ගේ වගකීම විශාලයි. දරුවාට ආදරේ නිසා දරුවෝ ඉල්ලන කෘත්‍රිම කෑම වර්ග ලබා දෙනවා වෙනුවට නිරන්තරයෙන් පෝෂණ ගුණයෙන් අනූන කෑම වේලක් ලබාදීමයි වැදගත් වෙන්නේ.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරන ආකාරයට මේ වන විටත් අපි අනතුරුදායක සංධිස්ථානයකට ප්‍රවේශ වී ඇත්තෙමු. එය විස¼දා ගත යුත්තේ සමාජයේ මුල් බැසගෙන ඇති දුර්මත හා ආකල්ප වෙනස් කිරීම තුළින්ය. නොදැනුවත්කම වෙනුවට විධිමත් දැනුම යාවත්කාලීන කිරීම තුළින්ය. එනිසා ආපසු හැරී ගොස් වැරදුණු තැන් නැවත හදා ගැනීමට තවමත් අප ප්‍රමාද නැත. එතුළින් රටකට අවශ්‍ය නිරෝගී මානව සම්පතක් බිහි කරනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon