ඉතාලිය සසල කළ 'මොරන්දි' පාලම් අනතුර

  👤  3038 readers have read this article !
By mawbima 2018-08-19

පසුගිය සතියේ ලොව සිදු වූ සිදුවීම් අතර විශාල අවධානයක් දිනාගත්, එමෙන්ම කා තුළත් මහත් කම්පනයක් ජනිත කළ සිදුවීමක් වූයේ ඉතාලියේ ජෙනෝආ නගරයේ පිහිටි මොරන්දි නමැති දැවැන්ත පාලමෙහි කොටසක් කඩා වැටීමේ සිද්ධියයි. ඉතා උසින් පිහිටි මෙම පාලමෙහි මීටර 80ක පමණ දිගින් යුතු කොටසක් මේ ආකාරයෙන් එක්වර කඩාගෙන වැටුණේ පසුගිය අඟහරුවාදා (14දා) එරට වේලාවෙන් පෙරවරු 11.30ට පමණය. ඒ වනවිට මෙම ප්‍රදේශය වසාගෙන ධාරානිපාත වර්ෂාවක් සහ කුණාටුවක් පැතිර පැවැති බවද වාර්තා විය. මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබූ තොරතුරුවලට අනුව 39 දෙනකු සිද්ධියෙන් මරණයට පත්ව තිබූ අතර තවත් 15කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටින බව සඳහන් විය. පාලමෙහි කඩා වැටුණු කොටසත් සමඟ සාමාන්‍ය මෝටර් රථ 30ක් පමණද, තවත් ට්‍රක් රථ තුනක්ද මීටර 45ක් (අඩි 145ක්) පමණ පහතින් පිහිටි දුම්රිය මාර්ගය සහ ගොඩනැඟිලි මතත්, ගංගාවටත් වැටී තිබේ. මිය ගිය අය අතර කුඩා දරුවන් කිහිප දෙනකුම සිටින බවද පැවසිණි. ඔවුන් අවුරුදු 8, 12 සහ 13 යන වයස්වල පසුවූවන් බවද පැවසේ. මෝටර් රියක් තුළ සිටි එක් පවුලක්ම සිද්ධියෙන් මියගොස් ඇතැයිද සඳහන් වේ. පාලමෙහි යෝධ කොන්ක්‍රීට් කුට්ටි පාලම යට පිහිටි ගොඩනැඟිලි මතට ඇද වැටීම නිසා එම ගොඩනැඟිලිවල සිටි අයද අනතුරට ලක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුත් මෙම කොන්ක්‍රීට් යට තවත් මළ සිරුරු තිබෙනවා දැයි සොයා බැලීමේ කටයුතු පසුගිය සිකුරාදා වනවිටත් සිදු වෙමින් තිබිණි. තවමත් ජීවතුන් අතර සිටින කිසිවකු සොයා ගැනීමට ඒ වනවිට වැඩි ඉඩක් නොතිබුණු බව ගලවා ගැනීමේ කණ්ඩායම්වල අදහස විය. තවත් 20කට ආසන්න පිරිසක් පිළිබඳව කිසිදු තොරතුරක් නැති බවද පැවසෙයි. සමහර විට ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවද මේ පිළිබඳ කටයුතු කරන බලධාරීන් පවසා තිබේ.

පාලම සමඟ පහළට ඇද වැටුණු මෝටර් රථ රැසක සිටි බොහෝ දෙනකු මිය ගොස් ඇති නමුත් දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්ත වූ අයද වූහ. පාපන්දු ක්‍රීඩකයකු වන ඩේවිඩ් කැපෙලෝද එවැන්නෙකි. ඔහු එදින උදයේ යාබද නගරයක සිට ජෙනෝආ වෙත පැමිණ ඇත්තේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම වගයක් රැගෙන යෑමටය. තමා පාලම මතින් රිය ධාවනය කරමින් සිටියදී විශාල හඬක් සමගම ඉදිරියෙන් වූ වාහන පහළට ඇද වැටෙනු දුටු බැව් කැපෙලෝ මාධ්‍ය වෙත පවසා තිබිණි. 'ඒ එක්කම මගේ වාහනෙත් පහළට වැටෙන්න පටන් ගත්තා. මම හිතුවා සේරම ඉවරයි කියලා. මම මැරෙන්නයි යන්නෙ කියලා හිතුණා.

ඒත් එක පාරටම කාරෙක නතර වුණා. ඉස්සරහ පැත්ත නෙවෙයි බිම වැදුණෙ. ඒ නිසා මොනව හරි මැද්දෙ හිරවෙලා ඒක නතර වුණා. උඩින් මොනව හරි කාරෙක උඩට වැටෙයි කියලත් මම බයවුණා. කොහොම හරි මම අතගාල බැලුව ඇඟේ කෑලි සේරම හොඳින් තියෙනවද කියලා. ඊට පස්සෙ ටික වේලාවකින් මම කෑ ගැහුව. ඒක ඇහිල ඒ වෙලාවෙ එතනට ඇවිත් හිටපු ගිනි නිවන හමුදාවේ අය ආව. ඔවුන් තමයි මාව වාහනෙන් එළියට ගත්තේ.' තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන කැපෙලෝ විස්තර කර තිබුණේ එලෙසිනි.

ඉතාලිය වැනි යුරෝපයේ දියුණු රටක මෙවැනි අනතුරක් සිදු වූයේ කෙසේද යන්න කා තුළත් මහත් කුතුහලයක් ඇති කර තිබෙන කාරණයක් වී තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි සමහරුන් පවසා තිබුණේ පාලමට විශාල අකුණු පහරක් වදිනු දුටු බවයි. පාලම රඳවා ඇති කුලුනකට අකුණු පහරක් වැදීමෙන් එය දුර්වල වීම නිසා මෙය සිදු වූවාද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බව පෙනේ. මෙයට වසර 50කට පමණ පෙර මෙම මොරන්දි පාලම ඉදි කළ කාලයේ මේ මතින් ගමන් කළ වාහන සංඛ්‍යාවට වඩා ඉතා විශාල වාහන ප්‍රමාණයක් මේ වනවිට ඒ මතින් ගමන් කරයි. මේ ආසන්නේ වරායක්ද පිහිටා ඇති නිසා බර වාහනද විශාල වශයෙන් නිතර පාලම මතින් එහා මෙහා යන බව සඳහන් වෙයි. පාලම ඉදිකළ කාලයේ මෙතරම් වාහන සංඛ්‍යාවක් පිළිබඳ බලාපොරොත්තුවක් නොතිබුණු නිසා එවැනි තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් එය නිමවා නැති බවද ඇතැම්හු පෙන්වා දෙති. අනතුරට හේතුව එය විය හැකි බව පවසන අයද සිටිති. මොරන්දි පාලම සාදා අවසන් කර ඇත්තේ 1967 වසරේය.

කෙසේ නමුත් එය මේ ආකාරයෙන් කඩා වැටීමට හේතුව මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් නිශ්චිතව දැනගන්නට තිබුණේ නැත. ඉතාලි රජය මේ වනවිට එම ප්‍රදේශයට අදාළව මාස 12ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. රටේ සියලුම මහා මාර්ගවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් මේ වෙද්දී විශාල සැක සංකා මතුවන්නට පටන්ගෙන ඇති අතර විශාල ජනතා විරෝධයක්ද හිස ඔසවමින් තිබෙනු දැකිය හැකි වෙයි. මේ තරම් ජනාකීර්ණ නගරයක, නිතර වාහන යන එන මාර්ගයක පාලමක් මේ ආකාරයෙන් කඩා වැටීම බොහෝ දෙනකුට ඇදහිය නොහැකි කාරණයක් වී ඇති බවද පෙනේ. ඉතාලියේ වාහනවලින් මුදල් අය කරන මහා මාර්ගවල කළමනාකරණය සහ නඩත්තු කටයුතු සිදු කරන්නේ පෞද්ගලික අංශයයි. මොරන්දි පාලම පිහිටි මාර්ගයේ මෙම කටයුතු භාරව තිබුණේ ඔටෝස්ට්‍රාඩා නැමැති සමාගමකට බව සඳහන් වේ. එරට මහා මාර්ගවලින් අඩකට වැඩි ප්‍රමාණයක් පවතින්නේ මෙම සමාගම යටතේය. ඔටෝස්ට්‍රාඩා සමාගම පාලම්වල නඩත්තු කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් තරමින් මුදල් යොදවා නැති බවටද මේ වනවිට චෝදනා නැඟෙමින් තිබේ. සමාගම සමඟ ඇති ගිවිසුම අවලංගු කරන බවද මේ වනවිට ඉතාලි රජය පැත්තෙන් කියැවෙන කතාවකි. නමුත් මෙම අනතුරට හේතුව නිශ්චිතව නොදැන ගිවිසුම අවලංගු කිරීම නොකළ යුතු බව ඔටෝස්ට්‍රාඩාහි බලධාරීන්ගේ අදහසයි. මෙහි ඉහළ විධායක නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙසද රජය දැනුම් දීමක් කර ඇති නමුත් නිලධාරීන් තවමත් එයට එකඟ වූ බවක් පෙනෙන්නට නැත. ගිවිසුමට අනුව සිදු කළ යුතු සියලු නඩත්තු කටයුතු නිසි ලෙස ඉටු කළ බව සමාගම කියමින් සිටියි. 2016 වසරේද පාලමෙහි යම් යම් අලුත්වැඩියා කටයුතු සිදු කළ බව සඳහන් වේ. අනතුර සහ මෙම අලුත්වැඩියාවන් අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද සොයා බැලෙමින් ඇති බව වාර්තා වෙයි. කෙසේ හෝ වේවා මෙම පෞද්ගලික සමාගමේ කොටස් මිලද මේ වෙද්දී වේගයෙන් පහත වැටෙමින් ඇති බවද සඳහන් වේ.

සනත් වික්‍රමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon