ජනතාව ඉල්ලන කෙනා ඡන්දෙට එනවානම් හොඳයි

  👤  3066 readers have read this article !
By mawbima 2018-08-19

ඊළඟ ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පිරිසක් කියද්දී තව පිරිසක් කියනවා එජාපෙන් ඉදිරිපත් විය යුත්තේ ජනතාව ඉල්ලන අපේක්ෂකයෙක් බව. ඔබ ඉන්නෙ කොතැනද?

පක්ෂය ගන්න තීරණය අනුව කවුරු වුණත් ඊට වැඩ කරනවා. අපිට ඕනෑ එජාප ආණ්ඩුවක් නිසා අපි කැමැතියි පක්ෂයේම කෙනෙක් ජනාධිපතිවරණයට ඉල්ලන එකට. හැබැයි ජනතාව ඉල්ලන කෙනා එනවා නම් තවත් හොඳයි.

ඔබ ඔය කියන ජනතාව ඉල්ලන පුද්ගලයා කවුරුන් විය හැකිද?

එජාපය කියන්නේ හැමදාම ජනතාවට සංවේදී පක්ෂයක්. ඒ නිසා මං හිතනවා කවුරු ආවත් ජනතාව පිළිගනියි කියලා.

ඔබ විශ්වාස කරනවද ඔබේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ අපේක්ෂකයා වීම සුදුසුයි කියලා?

නුසුදුසුයි කියන්නෙ ඇයි?

මේ වන විට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ප්‍රබල චෝදනා එල්ල වී හමාරයි. විශේෂයෙන් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව සහ රටේ ආර්ථිකය බංකොලොත් කර ඇති බවට?

රටේ ආර්ථිකය බංකොලොත් කියන්නෙ ඇයි? පහුගිය රාජපක්ෂ යුගයේ අත්තනෝමතික විදිහට ණය ගත්තා. සාමාන්‍යයෙන් ණයක් ගන්න ඕනේ ඉන් ආයෝජනය කර ප්‍රතිඵලයක් තිබෙනවා නම්. එහෙම නැතිව ගත්ත විශාල ණය කන්දකට අපි මුහුණ දීගෙන තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නෙ. ඒ ණය වාරික විශාල ප්‍රමාණයක් අපි ගෙවලා තියෙනවා. ඒවා ඔක්කොම පිටරටින් ගත් ණය නොවෙයි. අපේ රටේ නිෂ්පාදන වෙච්ච අපේ රට හම්බ කළ මුදල්.

ඔබ සෘජුව පිළිතුරු දෙයි කියා මා හිතනවා. එජාප පසුපෙළ මන්ත්‍රිවරියක් හැටියට ඔබේ පක්ෂ නායකයා කෙරෙහි යම් විවේචනයක් තිබෙනවා නේද?

ඔබ ඔය කියන්නෙ මා එදා කළ ප්‍රකාශය පදනම් කරගෙන. එවෙලෙදී අපි කිව්වා රුවන් විජයවර්ධන කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න. එහෙම නොවුණොත් අපිට පසුපෙළ මන්ත්‍රිවරු හැටියට දේශපාලනිකව අපට ගැටුම් ඇතිවෙන්න ඉඩ සැලසෙයි කියලා අපි ප්‍රකාශ කළා. ඒ කමිටු වාර්තාවේදී අපි කිව්වේ ඊළඟ නායකත්වයට තරුණ පෙළ සකස් කරන්න කියලා. ඒ කමිටුවේ මම හිටියා. ඉතින් ඒක දීලා තියෙනවා, දැන් බලන්න මහ ලේකම් ධුරය. නියෝජ්‍ය නායක ධුරය. ඒ සියලු දෙනා ගත්තම අද ඉන්නෙ තරුණ කණ්ඩායමක්.

ඔබ කියන මේ තරුණ කණ්ඩායමෙන් නේද එහෙනම් පොදු අපේක්ෂකයෙක් ආ යුත්තේ?

සමහර විට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. කවුරු ආවත් පක්ෂය දිනවන සටනෙ මා ඉන්නවා.

පසුපෙළ මන්ත්‍රිවරියක් ලෙස ඔබතුමියත් මේ වන විට පක්ෂය තුළ හීලෑ වීමකට ලක්වෙලාද?

එහෙම හීලෑ වීමක් නෑ.

නමුත් එදා සෘජුව ප්‍රකාශ එල්ල කරපු ඔබ අද පිළිතුරු දෙන්නෙ හරි සූක්ෂ්මවද?

එදා මා සෘජුව ප්‍රකාශ කළේ රුවන් විජයවර්ධන කමිටුව ක්‍රියාත්මක කරන්න කියන එකනේ. මොකද එදා අපට අවශ්‍ය වී තිබුණා පක්ෂය තුළ දෙවැනි නායකත්වයක් සකස් කිරීමට. එතකොට කවුරු හරි එතනින් වැඩ පෙන්වන හැටියට ජනතාව ඊළඟ නායකත්වය තෝරනවා.

කවුද දෙවන පෙළ නායකත්වය නියෝජනය කරන්නෙ?

දැනට බිම් මට්ටම ගැන කතා කළොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම ඉදිරියෙන් ඉන්නවා.

ඇතැමුන් නම් කියන්නෙ ඊළඟ පොදු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියලයි?

ඒ ගැන බොහෝ කතා බහට ලක් වෙනවා. මේ ගැන කතිකාවතකුත් තියෙනවා. අපි දන්නෙ නෑ කෘත්‍යාධිකාරී මණ්ඩලය මොන විදිහෙ තීන්දුවක් ගන්නවද කියලා.

එජාපයේ රාජ්‍ය හා නියෝජ්‍ය නව ඇමැති පත්වීම් සන්තෝෂම් ලැබුණට පස්සේ ඒ ඒ අයගේ හීලෑ වීමක් තිබෙන බවට එල්ල වන චෝදනාව නිවැරදියි නේද?

අපොයි නෑ. අපට කිසිම සන්තෝෂමක් දීලා නෑ. අඩුම තරමේ යන්න වාහනයක්වත් නෑ.

මා නැවත ඔබෙන් අහනවා ආණ්ඩු පක්ෂය හැටියට එජාපයට එල්ල කළ හැකි ප්‍රබලම චෝදනා ඔබ පක්ෂය හමුවේ මුහුණ දී තිබෙනවා. ඔබ කුමන පිළිතුර දුන්නත් එම චෝදනාව බැහැර කළ නොහැකියි නේද?

එක චෝදනාවක් කියන්න මට.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ බරපතළ චෝදනාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පසුගිය පාලනය මෙන්ම ඔබලාත් ණය ගන්න බවට පවතින චෝදනාව ප්‍රබල චෝදනාවක්?

ඕනෑ කෙනකුට චෝදනා කරන්න පුළුවන්නෙ. එහෙම නම් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත චෝදනාවක් කරලා තියනවා මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්.

ඔබ කියන්නෙ බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාව පහසුවෙන් ඉවත් කළ හැකියි කියලද?

එය උසාවියේ විභාග වෙමින් පවතින නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.

නමුත් ප්‍රායෝගිකව බැලුවොත් මේ ගනුදෙනුව සිදුවන විට ශ්‍රී ලංකා මහ බැංකුව පැවතියේ කා යටතේද? රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද? මහබැංකු අධිපති පත්කළේ කවුද යන කාරණ හමුවේදී එජාපයට නේද සෘජුවම චෝදනාව එල්ල වෙන්නෙ?

ඒක යහපාලන රජය එන්න කලින් ඉඳලා සිදු වූ සිද්ධියක්. පෙර පාලනය තුළ මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලෙ සිටම සිදුවූ ගනුදෙනුවක්. නමුත් ඒවා කරළියට ආවේ නෑ.

ඔබ මතුකළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදාළ චෝදනාව සම්බන්ධයෙන් විවාදයක් ගෙනා එජාපයට එදා පාර්ලිමේන්තුවේ ගණ පූරණයවත් පවත්වා ගත නොහැකි වුණා?

ඔව්. එතන මම අඩුපාඩුවක් දකිනවා. ආණ්ඩු පක්ෂය හැටියට එදා ලොකු වගකීමක් තිබුණා. මන්ත්‍රිවරුන් හැටියට එදා තමන්ගේ වගකීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබුණා.

ඔබ දන්නා විදිහට ඇයි එහෙම වුණේ?

එදා මම හිටියා. සමහරු පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවල හිටියා. එදා පාර්ලිමේන්තුවට පැමිණියේ නැති මන්ත්‍රිවරුනුත් හිටියා.

සිදු කළ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කෙරේ ඔබ තුළ යම් විවේචනයක් තිබෙනවා නේද?

මගේ සටන තිබුණේ තරුණ පෙළට බලය දෙන්න ඕනෑ කියලා.

ඒක ලැබුණද?

ඒක ලැබුණා කියලා මම හිතනවා.

නමුත් ඒ, ඒ තනතුරු බෙදුණු ආකාරය ගැන ඔබට සතුටු විය හැකිද?

90% ක් විතර.

පළාත් පාලන මැතිවරණයෙන් එජාපයටත් ශ්‍රී ලනිපයටත් ලොකු පාඩමක් ජනතාව උගන්වා තිබෙනවා. ඊළඟට එන මැතිවරණයකදී එජාපය තනිව තරග කර ජයග්‍රහණය කරා යා නොහැකි තත්ත්වයක් නේද මතු වී තිබෙන්නෙ?

ප්‍රාදේශීය සභා ඡන්දයත් එක්ක ඒක සංසන්දනය කරන්න අමාරුයි. මොකද ඒක ගමේ ඡන්දයක් ලෙස නෙමේ, එතැනදී වෙනම ප්‍රචාරයක් ගියේ. ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය කියන එක එකට සංසන්දනය කරලා තීරණයකට අපට එන්න බෑ. අපිට දිනන්න පුළුවන්.

ඔබ කොහොමද එය තහවුරු කරන්නෙ මෙවැනි කඩාවැටීමක් ඉදිරියෙ?

කොහෙද කඩා වැටිලා තියෙන්නෙ? පළාත් පාලන මැතිවරණයේදී සමෘද්ධි නියාමක මහත්වරුන්ට අපේ බිම් මට්ටමේ ඉන්න සියලු නිලධාරීන් විශාල කාර්යභාරයක් ගෙන ගියා පසුගිය කාලේ. විශේෂයෙන් මගේ ලග්ගල ආසනයේ. නමුත් කියන්න කනගාටුයි සමෘද්ධි නියාමක මහත්වරු ඒ මැතිවරණ ක්‍රියාවලිය හැමදාම කරගෙන ගියත් අද වෙනකම් අවුරුදු 24ක් ගෙවිලත් මොකද වෙලා තියෙන්නෙ?

ඒගොල්ලන්ට ස්ථීර රැකියාවක් නෙමේ තියෙන්නෙ. එහෙම තියෙද්දි ඒගොල්ලන්ට කැරට් අලය පෙන්නලා ඒ අයගෙන් හැමදාම වැඩ ගත්තා. අපිව ඉන්ටර්වීව් කරනවා වගේම ඔබ ගිහිල්ලා අහන්න ගම් මට්ටමේ අයගෙන්.

ඔබ කියන්නෙ පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නව ක්‍රමය තුළ අඩුපාඩු තිබුණා කියලද?

ඔව්. අඩුපාඩුවක් තිබුණා. සීමා නිර්ණය කිරීමේදී වුණත් ඒ වසම් තෝරාගෙන තිබුණෙ පසුගිය කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයට ඕනෑ විදිහට. ඒ ඒ කොට්ඨාසවල ඡන්දයේදී යූ.එන්. පීයට අවාසි වන විදිහට තමයි මැතිවරණ ක්‍රමය සකසා තිබුණෙ.

නමුත් ඒ ක්‍රමය වෙනස් වුණා නේද පසුගිය මැතිවරණයේදී?

නෑ.නෑ සීමා නිර්ණයේදී මගේ මැතිවරණ කොට්ඨාසයේ නම් වෙනස් වුණේ නෑ. එකක් දෙකක් වෙනස් වෙන්න ඇති.

නව ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී තිබියදී පැරැණි මනාප ක්‍රමයට යා යුතුයි කියලා ඇයි එජාපය තීරණයක් ගත්තේ?

එතැනදී මෙහෙම දෙයක් තියෙනවා. පුද්ගලානුබද්ධයිනේ. විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය සභා මැතිවරණය ගත්තම හරිම පුද්ගලානුබද්ධයි. අප හිතමු ඒ කියන ඡන්ද කොට්ඨාසයේ කෙනෙක් ඉල්ලනවා නම් එයාට අකැමැති නම් ඔහු නියෝජනය කරන පක්ෂයේ පාක්ෂිකයා කරන විකල්පයක් මේ. එහෙම වුණොත් එයා ඡන්දෙන් වැළැකී සිටිනවා. එහෙම නැත්නම් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. මනාප ක්‍රමය තුළදී කෙනෙක්ට අකැමැති නම් වෙන කෙනකුට මනාපය පළ කළ හැකියි.

එතකොට ඔබ කියන්නේ පැරැණි මනාප ක්‍රමයට යා යුතුයි කියලා?

ඔව්. හැබැයි ඒ තුළ හොඳ නරක දෙකම තියෙනවා. අපේක්ෂකයාගේ පැත්තෙන් ගත්තත් ඡන්ද දායකයාගේ පැත්ත ගත්තත් දෙපාර්ශ්වයේම අපේක්ෂකයන් අතර ඇති වන ගැටුම් හා මූල්‍යමය භාවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.

නමුත් චෝදනාව එල්ල වන්නේ, පැරැණි මනාප ක්‍රමයටම එජාපය කැමැති වන්නේ රාජ්‍ය මුදල් යොදවා සුපුරුදු ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකිරීමේ යටි අරමුණ ඇතිව බවට කියලයි?

පසුගිය එක මැතිවරණයකදීවත් අපි ප්‍රචණ්ඩ ක්‍රියා කරලා නැහැ. එක පවුලකට හරි වැලි කැටයක් හරි ගහලා තියෙනවද හොයලා බලලා කියන්න. ජනාධිපතිවරණයෙත්, මහ මැතිවරණයෙත්්, පළාත් පාලන මැතිවරණයෙත්. විශේෂයෙන් මාගේ ආසනය පිළිබඳ වගකීම දරනවා.

සෘජුවම ජනතාවට බලපාන සිද්ධීන් හමුවේ ආණ්ඩුව සිදු කරන්නේ කමිටු පත් කිරීම.

කමිටු පත් කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳිය හැකිද?

කමිටු පත් කළාට බැහැ. ඒ කමිටු ගැන අධීක්ෂණයක් කරන්න ඕනෑ. සියලුම දේවල් ගැන ඇගයීමක් තිබිය යුතුයි.

ඒ ආකාරයට රැල්ලට කමිටු පත් කිරීම ඔබ අනුමත කරනවාද?

නෑ. මම නම් අනුමත කරන්නේ නෑ පැහැදිලිවම.

ඇයි එහෙම නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නොනඟන්නේ?

අවස්ථාව ලැබුණම හඬ නඟනවා.

ඒ කියන්නේ ඔබට අවස්ථාවක් පාර්ලිමේන්තුවේ නැහැ?

නෑ. එහෙම අවස්ථාවක් ආවම අපි කතා කරන්න ලෑස්තියි.

රටේ සම්පත් කුණු කොල්ලයට පැවැරීමට එරෙහි ප්‍රබල චෝදනාවක් අද එජාපය අබිමුව තිබෙනවා. විශේෂයෙන් සිංගප්පූරු ගිවිසුම, හම්බන්තොට වරාය, කොළඹ වරාය, නැඟෙනහිර ජැටිය වැනි සම්පත් පවරද්දී ඇයි එජාපයේ පසුපෙළ මන්ත්‍රිවරුන්ට මෙය නොපෙනෙන්නේ?

හම්බන්තොට වරාය ගත්තොත් ඒක එහෙම තියාගෙන අපි ණය ගෙවනවට වඩා එය යම් විදියකින් පාවිච්චි කළ යුතුව තිබෙනවා. නැතිව මේ ණය ගෙවන්නේ කවුද? රාජපක්ෂවරුද? රනිල් වික්‍රමසිංහ මහතාද? එහෙම නැත්නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාද?

නමුත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකියි කියලා විදේශයට පැවැරීම අනුමත කරනවාද? ඔබලා කියන එජාපයේ ආර්ථික ඔස්තාර් ක්‍රමය ඇයි අනුගමනය නොකරන්නේ?

ඔබ නිශ්ශබ්දව බලා ඉන්න. 2025 වෙද්දි අපි ණයෙන් තොර රටක් හදනවා.

ඔබ කියනවා 2025 වන විට කියලා. අග්‍රාමාත්‍යවරයා තව විටෙක 2050 ගැන කතා කරනවා. 2050 වෙද්දී මේ කතා කරන කිසිවෙක් ඉඳියිද? ඇයි කෙටි කාලීන සැලසුමක් ඉදිරිපත් කරන්න බැරි?

කෙටි කාලීන සැලසුම් සමහර දේවල්වලට හරියන්නේ නෑ. විශේෂයෙන් රටක් පාලනය කරන කොට. කෙටි කාලීනව ගත්තු තීන්දු තමයි ඔය සමෘද්ධි ව්‍යාපාරය. දේශපාලන ව්‍යාපාර විදියට ඒවා අරගෙන රටක් විදියට සමෘද්ධිය ලබාදීම අපි වගේ දුප්පත් රටකට හරිද?

සමෘද්ධි ව්‍යාපාරය මීට වඩා විධිමත් කළ යුතුයි.

නමුත් මත්තල ගුවන් තොටුපොළ වැනි ආයතන මෙහෙයවීම විදේශ රටකට පැවැරීමෙන් රටේ ස්වෛරීත්වයට හානිකර බව කිසිවෙක් කතා කරන්නේ නෑ?

යුද හමුදා මූලස්ථානයට වෙන්වූ ඉඩම විකුණුවා ෂැංග්‍රිලා එකට. ඇයි මාධ්‍ය හඬක් ඒ වෙනුවෙන් නැඟුවේ නැත්තේ. මේවායේ කුලිය, බද්ද ගෙවා ගන්නවත් අර විකුණුම් මුදල ප්‍රමාණවත් නෑ. ඇයි මේ එක්සත් ජාතික පක්ෂයට විතරක් ඇඟිල්ල දික් කරන්නේ? පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ යුගයේ, 99 අවුරුදු බදු නොවේ, සින්නක්කර විකුණපු ඒවා තිබුණේ. නමුත් මාධ්‍ය නිශ්ශබ්දයි.

ඔබ පක්ෂය ආරක්ෂා කරමින් කතා කළාට පක්ෂයෙනුත් යම් කැපිල්ලක් තියෙනවා නේද?

අනේ පක්ෂයෙන් මට කපලා මගෙන් මොනවා ගන්නද? මං බොහොම අහිංසක ගෑනියෙක්.

එතකොට ඔබේ දිස්ත්‍රික්කයෙන් එන කැපිලි?

එහෙම නම් නෑ. අපි මාතලේ දිස්ත්‍රික්කයේ තුන් දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අලුවිහාරේ මැතිතුමන්ලා දෙන්නා හා ප්‍රියාන් විජේරත්න.

නමුත් ආරංචි විදියට නම් අලුවිහාරේ හා කවිරත්න දෙපාර්ශ්වය අතර ගැටුමක් තිබෙන බවයි එළියට ඇවිත් තියෙන්නේ?

එහෙම එකක් නෑ. මට එක උදාහරණයක් කියන්න.

කළු ගං ව්‍යාපෘතියෙන් ඔබේ ප්‍රදේශයේ ජනතාවට එක වතුර බිඳක්වත් නෑ කියලා ඔබ චෝදනාවක් කළා. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් ලකුණු ගන්න කළ වැඩක්ද?

නෑ. අපි දන්නවා කඳු මුදුනින් තමයි වතුර පහළට ගලන්නේ. අපේ ජනතාවටත් ඒ වතුරවල අයිතිය තියෙනවා. නමුත් ඒ වතුර පල්ලෙහාට ගෙනියන්න ඕනෑ ඒ ජලාශවලට අයත් ප්‍රදේශවල ජනතාවගේ ජල අයිතිය රැකලා දීලා. නමුත් ඒක කළු ගඟ, මොරගහකන්ද, වෑමැඩිල්ල, බෝවතැන්න ඔය ජලාශ 4ම තියෙන්නේ මගේ මැතිවරණ කොට්ඨාසයේ. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ගත්තොත් 85%ක් ඉන්නේ ගොවිතැනින් ජීවත් වන අය. අපේ මිනිස්සුන්ට අදටත් විසඳගන්න බැරි වෙලා තියෙනවා වාරි ජල ගැටලුව ගැන. මේ ව්‍යාපෘතිය ගැන මගේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කැමැතියි මේ වතුර උතුරේ ජනතාවටත් ප්‍රයෝජනයට දීමට. මම කියන්නෙ අපේ මිනිස්සුන්ටත් වතුර දෙන්න ඕනෑ. වැව් ටික හදලා දෙන්න ඕනෑ.

ජනාධිපතිවරයාටද මේ චෝදනා කරන්නේ?

මං කියන්නේ ජනාධිපතිවරයා හෝ ඒ පිළිබඳ සැලසුම් හදන අය මේ ගැන සැලකිලිමත් විය යුතුයි කියලා. දැන් වයඹ ඇළෙන් වතුර ගෙනියනවා කුරුණෑගලට. නමුත් ගලේවෙල ප්‍රදේශය පෝෂණය කරන්න පුළුවන් වැව් 32ක් අතෑරලා දාලා වතුර ගෙනියනකොට ඒ ප්‍රදේශයේ ජනතාවගේ මානසිකත්වය කොහොමද කියලා හිතන්න ඕනෑ. අපි දන්නවා අපේ මිනිස්සුන්ගේ හිත සතුටු වන දේවල් ලැබුණේ නෑ. ව්‍යාපෘතියකින් 100%ක් මිනිස්සු සතුටු කරන්න බෑ. අඩුම තරමේ 85%ක්වත් සතුටු කරන්න පුළුවන් නම් එතන දිනුම්. ඒ මොකුත්ම කරන්න බැරි නම් ඔය ලොකු උත්සවයකදී ඒ ලොකු මහත්වරුන්ගේ කටවල් දිව නැමෙන්න ඕනෑ මේ ජනතාවට පින් කියලාවත් කියන්න. එදා ලග්ගල ජනතාව මතක් වුණේ නෑ. අන්න ඒ වේදනාව මට තියෙන්නෙ.

"ගම්පෙරළිය" ව්‍යාපෘතියටත් ශ්‍රී ලනිප, එජාප පක්ෂ දෙක කා කොටා ගන්න තැනට පත්වෙලා නේද?

මගේ ආසනේ නම් එහෙම නෑ. ප්‍රාදේශීය ලේකම්තුමන්ලා එක්ක සාකච්ඡා කරලා හොඳ ඇගයීමක් ඇතිව අපි මුදල් වෙන් කරලා තියෙනවා.

පක්ෂ දෙක මාරුවෙන් මාරුවට චෝදනා එල්ල කරගන්නවා. ඇත්තටම ප්‍රශ්නය, ජනතාවට වත්මන් පාලනය යටතේ සිදුවූ සේවය කුමක්ද?

සේවාවක් සිදුව තිබෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය නොවීමයි. ඔබට මා ආරාධනා කරනවා එන්න මගේ ආසනයට. වාර්තා වැඩසටහනක් කරන්න. අපි කරලා තියෙන වැඩසටහන් බලන්න පුළුවන්. ඒක පැත්තකින් තියන්න. අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත්, නිවාස අමාත්‍යාංශය ගත්තත් කොයි තරමේ ප්‍රතිලාභ හා සේවාවන් සිදුව තිබෙනවාද? වැඩේ තියෙන්නේ මාධ්‍යයෙන් සහායක් නෑ. මාධ්‍යට අප බොහොම නිදහසක් දී තිබෙනවා. ඇත්ත කතා කරන්න කියලා මා ඉල්ලීමක් කරනවා.

ඔබ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පාසල් විනය මණ්ඩලය විධිමත් කළ යුතුයි කියලා.ඔබට හිතෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ විනය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා කියලා?

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විනය ගැන කතා කරන්න කනගාටුයි. ඒ තරම් පිරිහිලා.

සංවාදය - අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon