සියවසක් පුරා දහම් දැනුම බෙදූ ධර්ම කේන්ද්‍රයේ මහ පෙළහර

  👤  2825 readers have read this article !
By mawbima 2018-08-19

ආනන්ද මහ නාහිමි - තිරිකුණාමලේ

මීට සියවසකට පෙර අගනුවර හා ප්‍රධාන නගර පුරා පැවැතුණු ඉංගිරිසි අධිරාජ්‍යවාදයෙන් සන්තෘප්ත මනෝභාව ඇති සිංහල ප්‍රභූ සමාජයට දහමත් සමඟ සිංහල සභ්‍යත්වයේ ගමන්මඟ වටහා දීමට ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම සිටියේ අතළොස්සක් පමණ වියත් පිරිසකි. ශබ්ද ශාස්ත්‍රාලෝකය ඇති කිරීමට බොහෝ බහුශ්‍රැත භික්‍ෂුන් වහන්සේ උත්සාහ කළද රටේ අනාගතය ඉලක්ක කැරගෙන ජාතික අනන්‍යතාවක් ඇති දරු පරපුරක් තැනීම එහි ප්‍රකට වගකීමක් නොවීය. එවක උත්සන්නව පැවැති මිෂනාරී බලවේගවල පීඩනය ඊට හේතු වන්නට ඇත. එකල තරුණ බෞද්ධ නායකයකුව සිටි අනගාරික ධර්මපාලතුමා එකී පීඩනයට පීඩනය ලබාදෙමින් බාල-තරුණ-වැඩිහිටි හැම දෙනාම ඉලක්ක කැරගෙන සිය ධර්ම යාත්‍රාව දියත් කැර තිබුණේය.

1909 වසරේදී "ධර්ම ශාලාවෙන්" ඇරැඹුණු වජිරාරාම දහම් විවරණයෙහි නව මං මාවත් විවර කැර දුන්නා සේම අදීන ජාතිකත්ව මන්දිරයට නව පහන් ටැම් නැංවූ අයුරුද සුපැහැදිලිය. ගැඹුරු ධර්මඥානයෙන් මෙන්ම ද්විභාෂික පටුත්වයෙන් ද සන්නද්ධ වූ තරුණ සඟ පිරිසක් බම්බලපිටියේ එදා 'වැලි පාර' නම් වූ පටු මඟෙක බිම්කඩක පිහිටි කුඩා ආරාමයක උපශාන්ත ලෙස වැඩ විසීම අගනුවර ආකර්ෂණීය සමාජ පරිවර්තනයක් ඇති කිරීමට බෙහෙවින් හේතු පාදක විය. ලක්දිව මහා ධර්මශාස්ත්‍ර නිකේතනය වූ විදුදය පිරිවෙනින් වැටුණු මහ එළියත්, සිය පියාණන් වූ "තුඩාවේ ප¾ඩිතුමා" නමින් පතළ මහා ශාස්ත්‍රධරයා සහ රුහුණින් නැඟී ආ ධර්මශාස්ත්‍රීය එළි දහරේ ආභාසයත් නිසා කුඩා බිම් කඩෙක පිහිටි අරමක වැඩ සිටියද ඥානයෙන්ද දර්ශනයෙන්ද සාරුප්‍ය ආකල්පයෙන්ද ගම්භීර වූ ප්‍රෞඪ වූ ප්‍රතාපවත් වූ තරුණ පැළෑනේ සිරි විදුරුනැණ හිමිපාණන් වහන්සේ යටකී නව ගමන් මඟට නොසැලෙන නොබිඳෙන මහ පිවිසුම් ‍ෙදාරටුව විවර කළහ.

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ පුරෝගාමීත්වයෙන් 1985 අගෝස්තු 03 වැනිදා ගාල්ලේ වියානන්ද පිරිවෙනෙහි ආරම්භ කරන ලද ඉරු දින දහම් පාසල් ක්‍රමයෙහි නව ක්‍රමවේදයන් හඳුන්වාදීමට වජිරාරාම සම්ප්‍රදාය සමත් වූ බව සඳහන් කළ යුතුය. සැබැවින්ම එය මිහිඳු මාහිමියන් වහන්සේ මෙරටට හඳුන්වා දුන් බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායයේ නව ප්‍රභාවක් සේ හැඳින්වීම උචිතය. විෂය දැනුමට වැඩිමනත් වූ දැක්මක් සහිත චරිතායන අධ්‍යාපන ක්‍රමයක්ද ඒ තුළ වර්ණවත් වෙයි. අධ්‍යාපනයේ කාර්ය සාධනය සේ සැලැකෙන දැනුම, කුසලතා, ආකල්ප ධර්මයෙන් සුපෝෂණය ලබන විට ඒ මඟින් බිහි වන පුද්ගලයා ආචාර සමාචාරයෙන්ද සභානුභූතික ශික්‍ෂණයෙන්ද ආත්මහිත - පරහිත සමතුලිතභාවයෙන්ද පෞරුෂයෙන්ද සමාජයෙහි සුවිශේෂීත සාමාජිකයකු ලෙස අව්‍යාජව පිළිගැනේ. දහම් පාසලින් බිහි විය යුත්තේ එබඳු නිර්මාණශීලී දයාපන්න විචක්‍ෂණ කලණ මිතුරෙකි.

සිරි වජිරාරාම දහම් පාසලේ දැක්ම වන "තුන් ‍ෙදාරින් සුසිරිත වඩන, ගුණෙන් නැණින් හැදියාවෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන්, යහපත් පුරවැසියන් හදන, බුදුනු දරුවන් සඳහා වූ ආදර්ශවත් ධර්ම අධ්‍යාපන කේන්ද්‍රයක් වීම" යන්නෙන් පැහැදිලි වන්නේ ඉහත පළ කළ ශික්ෂා මාර්ගයේ නියාමනයයි.

දහම් පාසලේ මෙහෙවර ප්‍රකාශනයෙන් එම කරුණ වඩාත් පුළුල් ප්‍රතිපත්ති පරාසයකින් වියමන් කැර ඇති බව අනාවරණය වෙයි. එය මෙසේය. "නිති පන්සිල් හා පොහොය අටසිල් රකින, කුලදෙවි - මවුපිය - ගුරුවර - වැඩිහිටියන් පුදන චාම් ජීවිතයට සහ සුහද වාසයට සුහුරු වූ, සංවර බව, විනයගරුක බව හා ධර්ම ඥානය ඇති, ආගමාලයෙන් පිබිදුණු, ස්වදේශවාත්සල්‍යයෙන් ඔද වැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙයැවුණු ස්වභාෂානුරාගයෙන් ප්‍රාණවත් වුණු බුදුනු පරපුරක් රටට දායාද කිරීම."

දහම් පාසලේ යථෝක්ත දැක්ම හා මෙහෙවර සැකැසීමෙහි ලා ආරාමික අතීත මහ යතිවරයන් වහන්සේ ගේ චින්තනය, ගමන් මඟ හා අභිලාෂ සැලැකිල්ලට බඳුන් කළ බව පෙනේ.

"මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදාගනිමු." සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරයි." "සදහම් සවිමත් පරම්පරාවක් - මිනිසි දහම් සරු සිරි ලංකාවක්" වැනි අරුත් බර සමාජ තේමා පාඨ ඇසුරින් සමාජයේ නව ගමන් මඟකට නව එළි දහරක් විහිදුණේද වජිරාරාම විදු පියසේ සුභාවිතව සජීවී වූ චින්තන ධාරාවේ සාධනීය ප්‍රතිඵලයක් වශයෙනි. එකල වජිරාරාමයෙන් පළ වූ "බෞද්ධ ළමයා" සඟරාවද, ඉංගිරිසි බසින් පළ වූ "ඕධඵචබ" සඟරාවද මඳ කලක් පළ වූ "ලක් බුදු සසුන" පුවත්පතද (ප්‍රමාණයෙන් කුඩා වුවත්) චින්තන පෞරුෂයෙන් පිරිපුන් ජාතියක් හැදීම සඳහා දුන් විශිෂ්ට සහාය මෙහිලා අගය කළ යුතු වෙයි.

දහම් පාසල් සෙවණේ වැඩෙන දරුවනට එඩිතරව පිය ඔසවාගෙන යමින් අභිමානනීය ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට සැබැවින්ම මෙබඳු රචනාවෝ ජාතික ගීතිකාම වූහ. මතු මතුද මේ ජාතික පද්‍ය මාලාවන් අනාගත පරපුර ආදරයෙන් වැලඳගනු නොඅනුමානය. දහම් දැනුම ලබාදීම පමණක් නොව, ජාතිකත්වය-දේශභිමානය භාෂානුරාගය සමඟ විශ්වාන්තරවාදී චින්තනය

ළමා සිත් තුළට කාවැද්දීම දහම් පාසලේ අරමුණ වූ බව එහි යටගිය මං සලකුණු සොයා යන්නකුට පැහැදිලි වේ.

සිරි වජිරාරාම දහම් පාසල ආරම්භයේ සිට වත්මන දක්වා ප්‍රධානාචාර්ය ධුරය දැරූ හිමිවරුන්ද සිරිමෙවන් පියසිංහ සූරීන් ප්‍රධාන ඇදුරු මඬුල්ලද නිස්සරණාධ්‍යාශයෙන් කළ විශිෂ්ට දහම් මෙහෙවර පාසලේ කීර්තිමත් ප්‍රගමනයට බෙහෙවින් උපස්තම්භක වූ බව කිව යුතුය. රටේ අනාගතය උරුමකරුවන්ගේ හිතත් අතත් හදත් නිසි මං පෙතේ යොමු කරවා පොහොණි කරන්නට ඔවුන් දැරූ ප්‍රයත්නය අතිශයින්ම සම්පූජනීය වේ. සියවසක් පුරා විහිදුණු කිතු රැස් දහරින් සිය කාලයත් ධනයත් ශ්‍රමයත් නුවණත් පුද කොට වෙහෙස නොබලා ළ-තෙත් ගුණෙන් යුතුව සිදු කළ කුලුණුබර මෙහෙවරින් දහම් පාසල් මවුන් සැනැසුවෝ එකතින්ම ඔවුහුමය. ඔවුනට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය. තරග කරන මනසින් මිදී අනුන් පරදා තමන් දිනන්නට දත කන වෑයමින් ඉවත්ව සිවු බඹ විහරණ දහමින් දිවිය දිනා ගැන්මට නිරතුරුව මොහෙයවන සිරි වජිරාරාම දහම් පාසල ඊළඟ සියවසට පිය මනින්නේ සිය සාභිමානීසාර්ථවාහි ගමන් මඟ තව දුරටත් තෙදවත්ව සක්‍රිය කරනු සඳහාය. ඒ සඳහා කැපවූ කාර්යශීලී සේවා ළැදි වියත් ප්‍රසාදිත ප්‍රධානාචාර්ය හිමියන්ගේ දක්ෂ නියාමනයද, පළපුරුද්ද හා පරිචය ඇති අධ්‍යක්ෂ හිමියන්ගේ කාලෝචිත අධ්‍යක්ෂණයද පරිපාලන අත්දැකීම් ඇති නියෝජ්‍ය ප්‍රධානාචාර්යවරුන් දෙපළගේ සම්‍යයක් සමනුයෝජනයද, සේවා අභිවෘද්ධියෙහි ආශක්ත කළමනාකාරතුමාගේ මනා කළමනාකරණයද, සත්පුරුෂ පරිපාලන කමිටුවේ සංවිධිත පරිපාලනයද, දරුවන් අඳුරින් එළියට ගෙන යෑමේ අධ්‍යාශය ඇතිව ප්‍රායෝගිකව එහිලා අවංක උත්සාහය දරන, දරුවන් විනයනයෙහි ලා බුහුටිකම් ඇති ආදර්ශවත් ආචාර්ය මණ්ඩලයේ යථාරූපී ආදර්ශනය ද දෙවන සියවසේ කාර්ය සාඵල්‍යය සඳහා අත්‍යන්ත පිටුබලයක් වනු නොඅනුමානය.

බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය පිළිබඳ වූ දැනුම සිය දැකුමක් කොටගෙන, සදහම් කුසුම සිය දිවි පොකුණෙහි පුබුදුවා, දුලබ වූ මිනිස් දිවිය නොපමාව දිනා ගැනීමට සුනිසි මං පෙත කරුණාවෙන් පහදා දෙන, හෙළ දිවෙහි යටගිය දහම් සිරිසර සමජය තුළ යළිදු පණ ගන්වන්නට නිරතුරුව වෑයම් කරන සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් ජයන්ති සමරුව දැයට මහත් අභිමානයක් වන්නේ එහි සුමහරු ගමන් මඟ එසේ ඉදිරියටද සමඟිව සාමූහිකව පැවැත්වීමට අදිටන් කිරීමෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon