ආණ්ඩුවයි කථානායකයි කරන්නේ බොරුවක්

  👤  2937 readers have read this article !
By mawbima 2018-08-19

අලුත් ගමනක් යන්න ස්වාධීන වෙන්න හදපු ඒකාබද්ධය ආපසු හැරිලා. දේශපාලන චණ්ඩි පාට් දැම්මට ඇත්තටම විපක්‍ෂ නායකකම ගන්න බැරි තත්ත්වයක් නේද තියෙන්නේ?

අපි පසුගිය සතියේ අපේ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. එතුමාගේ ප්‍රකාශයේ සෑම වචනයක්ම, සෑම විරාම ලකුණක්ම, සෑම වගන්තියක්ම අපි ප්‍රතික්ෂේප කළා. එහෙම කරලා අපි ස්වාධීන වෙනවද නැද්ද කියන කාරණාව ගැන පුළුල්ව සාකච්ඡා කළා. මොකද දැන් අපට තියෙන ප්‍රශ්නය තමයි අපි ස්වාධීන වුණොත් විපක්‍ෂ නායකකම අපට දෙනවාද කියන එක. මම ඒ ගැන පාර්ලිමේන්තුවේදී විමසුවා. නමුත් කථානායකවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

ඒ කියන්නේ ස්වාධීන වෙන්නේ නැහැ?

ඒක මේ කඩේට ගිහින් සීනි කිලෝවක් ගන්නවා වගේ කරන්න බැහැ. මොකද අපි ඒ ගැන සාකච්ඡා කිරීමට ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒකට පක්‍ෂ නායකයොත් ඉන්නවා. මේ කමිටුවට නීතිඥවරු සහ විද්වතුන් ඉන්නවා. මේ කමිටුව සති දෙකක් ඇතුළත අපට ඒ මඟපෙන්වීම සහ නිර්දේශ ලබා දෙයි. අපි ස්වාධීන වෙනවාද නැද්ද කියන එක ඊට පස්සේ තීරණය වෙයි.

ඔබලා ස්වාධීන වෙන්න හැදුවට ස්වාධීන වෙන්න බැහැනේ. එජනිස ඡන්දයෙන් පත්වෙලා ස්වාධීන වෙන්න ගියොත් මන්ත්‍රි ධුරයත් අහෝසි වෙනවා. ඒකයි ඔබතුමන්ලා තවමත් මේ ඩබල් ගේමක් ගහන්නේ?

මේක තමයි විහිළුව. අපි දැනටත් ස්වාධීනයි. මේ ප්‍රශ්න කතා කරන දේශපාලනඥයන්, සිවිල් ජනතාව කතා නොකරන මාතෘකාව ඒක. අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් පස්සේ අපි අඛණ්ඩව වසර තුනක් විපක්‍ෂයේ අසුන්ගෙන ඉන්නවා. විපක්‍ෂය නියෝජනය කරමින් කතා කරනවා. විපක්‍ෂ නියෝජනය කරමින් කමිටුවලට පත්වෙලා තියෙනවා.

විපක්‍ෂය නියෝජනය කරමින් විදේශ සංචාරවලට සහභාගි වෙලා තියෙනවා. කෝප් එකේ ඉන්නෙත් විපක්‍ෂය නියෝජනය කරමින්. කාලය වෙන් කරන්නේ විපක්‍ෂය නියෝජනය කරමින්. ඉතින් අපි අවුරුදු තුනක් ස්වාධීනව ඉඳලා තියෙනවා.

එහෙම නම් අලුතින් ස්වාධීන හදන්නේ ඇයි?

අපි ස්වාධීන වෙලා හිටියට අපට විපක්‍ෂ නායකකම නොදෙන නිසා මේ අය අලුත් තර්ක ගෙනාවා. අපි ඒවට මුහුණ දෙනවා. අපට ඕන, අපේ මූලික පරමාර්ථය මේ ආණ්ඩුව ගෙදර යවන එක.

ඡන්දය ඉල්ලුවේ එජනිසයෙන් නිසා ස්වාධීන වෙන්න බැහැ. 19 වැනි සංශෝධනයට අනුව පක්‍ෂ මාරු කළොත් මන්ත්‍රි ධුරයත් නැති වෙනවා. ඒකයි ඇත්ත?

මේ සියවසේ ලොකුම බොරුව ඒක. 19 ව්‍යවස්ථාවේ ඔය ගැන අකුරක්වත් නැහැ. මේක තමයි ආණ්ඩුව කියන ලොකුම බොරුව. ආණ්ඩුවට බොරු කියන්න හේතු තියනවා. ඒකට පූර්වාදර්ශය දුන්නෙත් මේ ආණ්ඩුව. ඒ මේ කථානායක ඇමැතිවරයා පළාත් පාලන ඇමැති වෙලා ඉන්න කොට. අපි මේ ඉල්ලන ඉල්ලීම ලංකා ඉතිහාසයේ පළමු වරට ඉල්ලන හෝ පළමු වරට කථානයකවරයෙක් ලබාදිය යුතු නව සම්ප්‍රදායක් හෝ නව ඉල්ලීමක් නොවෙයි. ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා. මේ ආණ්ඩුව, මේ ජනාධිපති, මේ අගමැති පාර්ලිමේන්තුව තුළ මේක ලස්සනට කළා. කාටවත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 47ක් ඉන්න කණ්ඩායමේ නායකයා අගමැති කළා. ලෝකයේ කිසිම රටක ඒ විදියට වෙලා නැහැ. 126ක් ඉන්න කණ්ඩායමේ කෙනා අයින් කරනවා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයත් එක්ක විධායක බලතල අනුවයි අගමැති පත් කළේ. ජනාධිපති වෙන්න උදවු කළ පක්‍ෂයේ නායකයා අගමැති වීම වැරැදිද?

ආණ්ඩු පෙරළියක් වුණේ ඔළුගෙඩි මාරු කරලානේ. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නෑනේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. එකක් අගමැතිවරයා පත් කරන ආකාරය, ඉවත් කළ යුතු ආකාරය ගැන තියෙනවා. ඉන්න අගමැති මිය ගියොත්, ඉල්ලා අස් වුණොත්, ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආවොත් හෝ මුදල් පනතකින් පරාජය වුණොත් විතරයි අගමැති වෙනස් වෙන්නේ. මේ එකක්වත් වෙන්නේ නැතිව ශ්‍රී ලනිප අගමැති ඉවත් කරලා 47 දෙනාගේ අගමැති එනවා.

ඔබ කොහොම කීවත් ජනාධිපති පැරදුමත් එක්ක පවතින ආණ්ඩුවේ බලය නැති වෙනවා. ඒ සම්ප්‍රදායටයි එදා අගමැති පත් වුණේ?

එහෙම වෙන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණේ නැහැනේ. එහෙම නම් හැම ජනාධිපතිවරණයකම ඒක වෙන්න එපැයි. අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණාම ඒ ජනාධිපති ආණ්ඩුව විසිරුවලා පාර්ලිමේන්තු ඡන්දයකට යනවා. ඊට පස්සේ අගමැති පත් කරනවා.

එහෙම ගියා නම් එජාපය එදා 2/3ක් ගන්නවාද?

ඒක වෙනම දෙයක්. එහෙම වුණානම් රට මීට වඩා අගාධයකට යනවා. හැබැයි ජනාධිපතිට මේ විදියට අගමැතිව පත්කරන්න බැහැ. ඒක ව්‍යවස්ථාවේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය වෙනස් කරන්න ජනාධිපතිට බැහැ. 2015 ජනවාරි 08න් පස්සේ මේ රටේ වුණු දේශපාලන මංකොල්ලය තමයි ඒක. මේ කථානායක, මේ අගමැති, මේ ජනාධිපති මහ දවල් වුණු රොබරිය තමයි මේ. ඊටත් වඩා වුණු දේ තමයි ජනාධිපතිතුමාගේ පක්‍ෂය පාලනය ගෙනයන අතරේ නියෝජ්‍ය සභාපති, විපක්‍ෂ නායක වෙනවා මාස පහක්. මේවා වුණේ කොහොමද?

අලුත් දේශපාලන රාමුවක් ඇතුළේ යහපාලන ප්‍රතිපත්ති නිසා මේ එකතුවීම් සිදුවුණා නොවෙයිද?

නැහැ. අද යහපාලනය නම ඉදිරියට දාගෙන මේ අය වෙන වාසි ගන්නවා. අපි එජනිස යටතේ ජවිපෙ එක්ක තරග කළා. පසුව ජවිපෙ ඉල්ලීමක් කළා අපට වෙන්වෙන්න ඕන කියලා. එදා කථානායකතුමා ඒකට අවසර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 2010 සරත් ෆොන්සේකා මැතිතුමා සභාපති, විජිත හේරත් මහතා ලේකම්, මේ අය තරග කරලා පාර්ලිමේන්තු එනවා. ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළේ ඉන්න ජවිපෙ ඉවත් වෙනවා. අර්ජුන රණතුංග වෙන් වෙනවා. ඒ ජවිපෙන් ගාල්ලේ අජිත් කුමාර මන්ත්‍රිතුමා වෙන් වෙනවා. මේ සියලු දේ කථානායකවරයා පිළිගන්නවා. ස්වාධීනව කටයුතු කරන්න දෙනවා. ඒ වගේම 93දී සිරිමා මැතිනිය විදේශ ගතවෙනවා. එතුමිය ඉල්ලීමක් කරනවා හිටපු කථානායකගෙන් විපක්‍ෂ නායකකමට කේ.බී. රත්නායක මහතා පත් කරන්න කියලා. එම්.එච්. මොහොමඩ් මැතිතුමා කථානායක විදියට ඒක පිළිගත්තා. මීට විපක්‍ෂ මන්ත්‍රිවරු අස්සන් කරලා කථානායකට ලිපියක් දෙනවා අනුර බණ්ඩාරනායක විපක්‍ෂ නායක කරන්න කියලා. කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා සිරිමා බණ්ඩාරනායක මැතිනිය මගෙන් මෙහෙම ඉල්ලීමක් කරලා තියෙනවා නමුත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත්‍රිවරු බහුතරය අනුර බණ්ඩාරනායක මහතා විපක්‍ෂ නායක විදියට පත් කරන්න ඉල්ලීමක් කළා කියලා. එතුමා කියනවා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ නීතිරීති මට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මම පිළිගන්නවා කියලා. මම මේ කියන්නේ වසර 22ක් තුළ පාර්ලිමේන්තු ඉතිහාසය සහ පසුගිය වසර 3ක ඉතිහාසය ගැන.

අද පාර්ලිමේන්තුව එසේ ක්‍රියා නොකරන හේතුව මොකක්ද?

කථානායකවරයාගේ පක්‍ෂග්‍රාහී වීම තමයි ඒකට හේතුව. අද ඉන්දියාවේ විපක්‍ෂ නායකවරයෙක් නැහැ. මොකද ඉන්දියාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි සියලුම විපක්‍ෂයේ තනි පක්‍ෂයකට සියයට දහයක බහුතරයක් නැත්නම් ඒ පක්‍ෂවලින් විපක්‍ෂ නායකයෙක් තෝරා ගන්නේ නැහැ. මේ නිසා ඉන්දියාවේ වසර තුනක් තිස්සේ විපක්‍ෂ නායකයෙක් නැහැ. අපේ රටේ විපක්‍ෂයේ භූමිකාව අපි කරනවා. නමුත් විපක්‍ෂ නායකකම දෙන්නේ නැහැ. නමුත් මුළු මන්ත්‍රි සංඛ්‍යාවෙන් සියයට 7ක් ඉන්න දෙමළ සන්ධානයට විපක්‍ෂ නායක ධුරයත් සියයට 2.8 ඉන්න ජවිපෙට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකකමත් දෙනවා.

එජනිස කොටසක් ඇමැතිකම් දරද්දී අනෙක් අයට විපක්‍ෂ නායකකම දීම සාධාරණ නෑ නේද?

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිතුමා ලෙස ඉන්න කොට ඒ පක්‍ෂයේ නියෝජ්‍ය නායක විපක්‍ෂ නායක වෙනවා. පක්‍ෂයේ අය කැබිනට් ඇමැතිකම් දරනවා. මේවා වෙන්නේ මීට වසර තුනකට පෙර මේ පාර්ලිමේන්තුවේමයි. එතකොට ඔය කියන සංවාදය කොතැනද තිබ්බේ?

ස්වාධීන වෙන්න ලැබුණොත් ශ්‍රී ලනිපයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවාද?

බලමු අපි, මොකක්ද අපේ කමිටුව කියන්නේ කියලා. සති 2ක් ඇතුළත වාර්තාව ආවාම ඒක බලමු.

ඔබතුමන්ලා මොන දේ කිව්වත් ශ්‍රී ලනිපයේ සාමාජිකත්වය අයින් කරගන්න අකැමැතියි නේද?

මේ ජාතික ආණ්ඩුවේ ගිවිසුම ගහලා තියෙන්නේ ශ්‍රී ලනිපය. අපි ඡන්දය ඉල්ලුවේ එජනිසයෙන්. එජනිසය මේ රටේ ප්‍රධාන මැතිවරණයෙන් සියයට 50ක් ඡන්දය දීලා තියෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට. එනිසා මේ ආණ්ඩුව සහ කථානායකවරයා වෙන බොරුවක් එතැන කරන්නේ.

* මම අහපු දේට ඔබතුමා උත්තර දුන්නේ නැහැ. ඔබතුමන්ලා ශ්‍රී ලනිප පක්‍ෂ සාමාජිකත්වය අතාරින්න අකැමැතිද?

එතැන රහසක් නැහැ. අපි නීතියකට සම්ප්‍රදායකට යටත් වෙන්නේ ඒක සාධාරණ නම් විතරයි. ජනතාවගේ වේදිකාව අපට පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් පක්‍ෂයක නීතිවලින් අපිව බැඳලා තියන්න බැහැ. ඒකට අපි යටත් වෙන්නේ නැහැ. අපි ඒ තීන්දුවට යන්නේ බුද්ධිමත් විදියට. ඒක හිතුවක්කාර හෝ ලේ කෝපවෙලා ගන්න තීන්දුවක් නෙවෙයි. අපි තීන්දු ගන්න පැකිළෙන්නේ නැහැ.

කථානායක හරි නැත්නම් විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ ඇයි?

අපේ ඉදිරි ක්‍රියාමාර්ග ගොඩක් තියෙයි.

විශ්වාසභංග ගෙන ආවට දිනන්න බැරි නිසා නේද ගේන්නේ නැත්තේ? පසුගිය සතියේ ජී.එල්. පීරිස් හිටපු ඇමැතිතුමත් ඒ කාරණාව පිළිගත්තා?

විශ්වාසභංග ගෙන ආවාට මේ රටේ ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. විශ්වාසභංගයේ මූලික අරමුණ තමයි ජනමතය. මේ ආණ්ඩුව පවතින්නේ විපක්‍ෂය නිසායි. අගමැතිට ගෙන ආ විශ්වාසභංගයෙන් 122යි ආණ්ඩුව ගත්තේ.

මේ 122න් 16ක් විපක්ෂයේ ඡන්ද. ඒ 16 අඩු කළානම් 106යි. එහෙම වුණානම් බහුතරය නැහැ. මේ නිසායි මේ විපක්ෂය කියාගෙන ඉන්න ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව දුවන්නේ විපක්ෂයේ පිහිටෙන් මිසක් ආණ්ඩුවේ පිහිටෙන් නොවෙයි.

විපක්ෂය නාමමාත්‍රිකයි කියාද කියන්නේ?

ඔව්. ඒක පැහැදිලි වුණානේ. අය වැයේදි පක්ෂව ඡන්දය දෙනවා. අගමැතිට ගෙන ආ විශ්වාසභංගයේදී ආණ්ඩුවේ පිහිටට ආවේ කවුද? විපක්ෂය පාර්ලිමේන්තුවේ 106ක් අරගෙන තමයි හරි විදියට නම් අගමැතිකම රැක ගත්තේ. මේක දේශපාලන වශයෙන් විහිළුවක්. යක්කුන්ගෙන් වැඩ ගත්තානම් ‍ෙදාළපිදේනි දෙන්න ඕන. ඒ නිසා මේ ආණ්ඩුව යක්කුන්ගෙන් වැඩ අරගෙන විපක්ෂ නායකකම කියන ‍ෙදාළපිදේනිය සහ විපක්ෂයේ තනතුරු දෙනවා.

ස්වාධීන වෙලා ආවොත් කවුද විපක්ෂ නායකයා?

ඒක දෙවැනි ප්‍රශ්නය. අපි තීන්දු කරලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක විදියට පත් කරන්න කියා අපි ලිඛිතව ඉල්ලලා තිබෙනවා.

එතකොට වෙල්ගම මහත්තයා විපක්ෂ නායකකම ඉල්ලන්නේ ඇයි?

ඒකට වෙල්ගම ඇමැතිතුමාට සුදුසුකම් තිබෙනවා. ඒක වරදක් නෙවෙයි. එයාගේ සුදුසුකම් කියන එක. මටත් සුදුසුකම් තියෙනවා කියා මටත් කියන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ.

විපක්ෂය ලිඛිතව දීලා තියෙද්දී විපක්ෂ නායකකම ඉල්ලීම සදාචාරාත්මක නෑ නේද?

ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

නැහැ. ඒක මත ගැටුමක්?

එතැන මත ගැටුමක් නැහැ.

ඇත්තටම ඔය සිද්ධිය මත ගැටුමකට යනවානේ? මහින්දානන්ද මහතාත් ඊට ගොදුරු වෙනවා.?

මහින්දානන්ද ඇමැතිතුමා ඒක පැහැදිලි කළා එතැන මත ගැටුමක් නැහැ.

ඒකාබද්ධයේ ජාතික සංවිධායක විධියට ඔබට විපක්ෂය පාලනය කරන්න බැරිවෙලා වගේ පෙනෙන්නේ?

සන්ධාන දේශපාලන අතරේ විවිධ මත එනවා. ලෝකය පුරාම එහෙමයි. යුද්ධය පැවැති කාලයේ ඉන්දියාවේ තිබ්බේ සන්ධාන ආණ්ඩුවක්. කොංග්‍රස් එක අපට එල්ටීටීඊය නැති කරන්න උදවු කරද්දී කොංග්‍රස් එකේ සහායට හිටි පක්ෂ එල්ටීටීඊයට පක්ෂව එහේ විරෝධතා දක්වනවා. ඒකයි සන්ධාන දේශපාලනයේ හැටි. අපි සන්ධානයේ හිටියාට පැවැති සමහර මැතිවරණවලදී වෙනම තරග කළා. ත්‍රිකුණාමලය පළාත් ඡන්දයේදී විමල් වීරවංශ මහතාගේ පක්ෂය වෙනම තරග කළා. පසුව පළාත් ඡන්දයේදී තිස්ස විතාරණ මහතා වෙනම තරග කරනවා. ඒක බාධාවක් වුණේ නැහැ. සන්ධාන ඇතුළේ වෙනම මත තිබුණාට අවසානයේ කරන ප්‍රකාශ විතරක් අමතක කරන්න එපා.

මහින්ද රාජපක්ෂ කියන සාධකය වටා හැමදේම තීරණය වෙනවා කියන එකද?

ඔව්, ඒ හැම කෙනාම කියන්නේ අපේ නායකයා මහින්ද රාජපක්ෂ. එතුමා කියන දේ පිළිගන්නවා කියලා. මේ ටැග් ලයින් එක ඇතුළේ තමයි මේ සියලු ප්‍රකාශ යන්නේ. මේ සියලු ප්‍රකාශවල අත්තිවාරම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා කියන නායකයා වටා.

ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ නම ඉදිරියෙන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බවත් නුසුදුස්සකු බවටත් පොදුජන පෙරමුණ ඇතුළෙන්ම චෝදනා එල්ල වෙනවා. මේ ගැන කුමාර වෙල්ගම හා වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරු පසුගිය වකවානුවේ නිරන්තරයෙන්ම චෝදනා කළා.

ආණ්ඩුවත් ඔවුනට චෝදනා එල්ල කරනවා. ඇත්තටම බලනකොට මේවා නුසුදුසුකම් නෙවෙයිද?

අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ ලංකාවේ මුළු භූමියෙන් තුනෙන් එකක ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. ඒ ප්‍රදේශවල ඡන්දයවත් පවත්වන්න බැරිවයි හිටියේ. ඇතැම් අවස්ථාවලදී මිනිස්සු ඡන්දය දුන්නෙත් නොදී හිටියෙත් තුවක්කුවට බයේ. එහෙම ප්‍රජාතන්ත්‍රවාදය නොතිබුණු බිමට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනත් දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වෙනුවෙන් ඊට නොදෙවැනි මෙහෙයුමක් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.

ඊට කලින් ප්‍රභාකරන් කොළඹ හිටපු මේ රටේ රාජ්‍ය නායකයෝ, මැති ඇමැතිවරු සියලුම දෙනා අධි ආරක්ෂිත කලාපවල හිර කරලයි සිටියේ. ඒ කාලයේ කොළඹ තත්ත්වය, මොන තරම් හමුදා මුර කපොලු තිබුණද කියලා අද බොහෝ දෙනකුට මතක නෑ. පොලිස් ස්ථාන වටකරලා දැවැන්ත ආරක්ෂිත තාප්ප දාගෙන හිටියේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ත්‍රස්තවාදය නිම කරලා පොලිසි වටේ තිබුණු සියලු තාප්ප ගලවලා ඒවා නිදහස් කරලා දුන්නා. ඔහු මේවා කළේ නියම ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදියකු නොවෙයි කියන අයගේ චෝදනාව මෙතැනින් මුළුමනින්ම බිඳවැටෙනවා.

ඔහුට දේශපාලනය ගැන අත්දැකීම් නැහැ කියලත් චෝදනා එල්ල වෙනවා?

අපේ රටේ පහළවුණු රාජ්‍ය නායකයන් අතරින් ශේ‍ර්ෂ්ඨයි කියන විශේෂණ පදය යොදන්න පුළුවන් කිහිපදෙනා අතරින් කෙනෙක් තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. හැබැයි මතක තියාගන්න එතුමිය මේ රටේ අගමැතිනිය වෙන කොට එක පැයකටවත් ගම් සභාවක හිටපු කෙනෙක් නොවෙයි. ඒ වගේම ලෝකයේ බලවත්ම රාජ්‍ය එකක් දෙකක් තමයි ඇමෙරිකාව හා ප්‍රංශය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පදවියට පත්වන්නේ කලින් එක පැයකටවත් ඒ රටේ නගර සභාවකවත් ඉඳලා නෙවෙයි. පසුගිය අවුරුදු එකහමාර ඇතුළත ට්‍රම්ප් ඇමෙරිකානු ආර්ථිකය හරි පීල්ලට ගෙනැවිත් තිබෙනවා. ප්‍රංශ ජනාධිපති මැකරෝන් ඒ තනතුරට පත් වෙන්න කලින් එක පැයකටවත් ඒ රටේ නගර සභාවක්වත් නියෝජනය කළ කෙනෙක් නෙවෙයි. මේ වෙනකොට ඔහු ලෝක ගෞරවයට පාත්‍රවෙලා තිබෙනවා.

2019 ජනාධිපති සටනට බැසිල් රාජපක්‍ෂගේ නමත් සමහරු කියනවා?

ඒ විතරක් නෙවෙයි චමල් රාජපක්‍ෂගේ නමත් කියවෙනවා.

කිසිසේත්ම නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1982දී ජනාධිපතිවරණයට අනුගමනය කළ උපක්‍රමයක් තමයි ඕක. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ශ්‍රී ල.නි.ප.ය බෙදලා බණ්ඩාරනායක පවුල බෙදලා වමයි, ශ්‍රී ල.නි.ප.යයි අතර ගැටුම් ඇති කරලා හිර කරලා ඡන්දෙ දිනන්න එදා පාර හොයා ගත්තා. ඒ මාමා කළ උපක්‍රමය බෑනා කරනවා කියන එක පුදුමයක් නෙවෙයි. කවුරු මොනවා කීවත් රාජපක්‍ෂ පවුලේ සහෝදරයන් අතර ඉතා සමීප සහෝදර බැම්මක් තියෙනවා. ඒ පවුලේ සහෝදර බැම්මට දිගු ඉතිහාසයකුත් තියෙනවා. බණ්ඩාරනායක පවුල කැඩුවා, බෙදුවා වගේ රාජපක්‍ෂ පවුල බෙදන්න බෑ. රාජපක්‍ෂ පවුලේ මහින්ද, චමල්, බැසිල්, ගෝඨාභය, ඩඩ්ලි අතර තියෙන සහෝදර බැම්ම වික්ටෝරියා වේල්ලේ බැම්මටත් වඩා හයියයි. රාජපක්‍ෂ පවුල බෙදන්න හදන උත්සාහය බින්දුවක් බවට තව නොබෝ දිනකින් පත් වෙයි.

එහෙම නම් මන්ත්‍රිවරුන්ට පරස්පර ප්‍රකාශ නොකර ඉන්න පුළුවන්නේ?

ප්‍රජාතන්ත්‍රවාදය තුළ මත ගැටීම් තියෙනවා. ඒකට පක්ෂය ඇතුළේ ඉඩ තියෙනවා. අන්තිමට පොදු මතයකට එකතු වෙනවා. මේ ආණ්ඩුව ගෙදර යැවීමයි අපේ අරමුණ. ඒකට මේ හැමදෙනාම පෙළ ගැසෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා නැත්නම් අපට මේ තරම් දුරක් එන්න වෙන්නේ නැහැ. කියමින් වෙල්ගම ඇමැතිතුමා ප්‍රකාශ කරන ගමන් ඔහු ගෝඨාභය මහතා ඡන්දයට එන එකට අකැමැත්ත ප්‍රකාශ කරනවා?

නැහැ, එහෙම වුණේ නැහැ. ඔබ වෙල්ගම මන්ත්‍රිතුමා වෙනුවෙන් වෙන මත හදනවා.

අපි හදන මත නෙවෙයි මාධ්‍ය හරහා එතුමාම කිව්ව දේයි අපි කියන්නේ?

නෑ, නෑ, වෙල්ගම මන්ත්‍රිතුමා කොයිවෙලාවකවත් එහෙම කියලා නැහැ. එතුමා විවිධ ප්‍රකාශ කරනවා. හැබැයි ගෝඨාභය මහත්තයාට විරුද්ධයි කියන්නේ නැහැ. බැසිල් මහත්තයා ගැන කිව්ව දේ හරි. එතුමා ගෙන ආපු පක්ෂය නොතිබෙන්නට අපට පසුගිය ඡන්දයට යන්න වෙනම පක්ෂයක් තිබුණේ නැහැ. ඒකට අපි කෘතවේදීයි. ඒකයි වෙල්ගම මන්ත්‍රිතුමා කිව්වේ. ඒකේ වරදක් නැහැ.

පෙබරවාරි 10 ලබපු ජයග්‍රහණය අධි තක්සේරුවට ගිහින් මේ දේශපාලන ගමනේ ප්‍රශ්න ඇති කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ, අපට අධි තක්සේරුවක් නැහැ. අපට 70ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. පළාත් පාලන ආයතන බලය තියෙනවා. ඒ අනුව අපි වැඩ කරනවා.

70ක් නැහැ, 69යි?

හරි 69යි. ඒකට වඩා 16 ලොකුද? අපි මේ ගැන ප්‍රශ්න කරන එක අධිතක්සේරුවක්ද?

පෙබ. 10 බලය ආවේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම සහ ආණ්ඩුව වටා තිබූ ඡන්ද මහින්ද මහත්තයා ළඟට යෑම. අන්තිමට පළාත් පාලන බලය අරගෙන කරන වැඩ සහ හැසිරීම අධි තක්සේරුවක් නොවෙයිද?

නැහැ, මම එහෙම හිතන්නේ නැහැ. අපි හරියට වැඩ ටික කරනවා. අපි දේශපාලනික තීන්දු අරගෙනයි වැඩ කරන්නේ. එනිසා අපි හැමදේම කරන්නේ දේශපාලනික විදියට පමණයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙස ඉද්දී නිදිමත, නිග්‍රහකාරි, ඕළාරික, විපක්ෂයක භූමිකාව නෙවෙයි අපි කරන්නේ. අපි කරන්නේ වික්‍රමසිංහ මහත්තයා විපක්ෂය හසුරුවපු විදියට නෙවෙයි.

ඔබලා බලය තියෙද්දී විපක්ෂය විදියට හිටපු එජාපය පාලනය කළෙත් මේ විදියට කියලා දේශපාලනික විග්‍රහ කරන විද්වතුන් එදා චෝදනා කළා?

ඒක ඔබට ඕන විදියට තීන්දු කළ හැකියි.

ඒක මගේ තීන්දුවක් නෙවෙයි.?

එහෙම නම් ඒක ආණ්ඩුවේ දක්ෂතාවක්. ආණ්ඩුවටයි ඒ ලකුණු එන්න ඕන. විපක්ෂය ඒ විදියට තියා ගත්තා නම්. මේ ආණ්ඩුව මේ විපක්ෂය තියාගත්තා වගේ අපි එදා විපක්ෂය තියාගත්තා කියා නම් ඔබ අර්ථ කරන්නේ, වැඩේ සාර්ථකයි.

මගේ අර්ථකථනය නෙවෙයි ඒකයි ඇත්ත?

ආණ්ඩුවක අතකොළුවක් නොවී විපක්ෂයේ භූමිකාව කරන්න එපා කියලා එදා කාටහරි හඬනඟන්න තිබ්බා. ඒක වුණේ නැහැ. නමුත් අපි අද ඊට වඩා අරගලයක් කරනවා. මේ ආණ්ඩුව විපක්ෂය ඕන විධියට තියාගෙන ආණ්ඩු කරනවා. එදා අපිත් ඒක කළා. විපක්ෂයේ කරදරයෙන් බේරෙන්න බැහැ. ආණ්ඩුවක් විපක්ෂය අතකොළුවක් කරගන්නවා, ඒකයි ඇත්ත. මේ විපක්ෂය ඒක ස්වේච්ඡාවෙන් කරනවා. ඒ නිසා අපි පෙබරවාරි 10 බලය අයුතු විධියට පාවිච්චි කරන්නේ නැහැ.

මේ ප්‍රතිඵලය ඊළඟ පළාත් සභා, මහ මැතිවරණය, ජනාධිපතිවරණයෙත් දකින්න පුළුවන් වෙයිද? අද වෙනකොට ඔබතුමන්ලා මේ රටේ ආණ්ඩු පිහිටුවලා ජනාධිපතිකම් අරගෙන ඉවරයි. ඒකත් අධි තක්සේරුවක් නොවෙයිද?

ලංකා ඉතිහාසයේ සියයට 62ක් ඡන්දය දීපු පළාත් පාලන මැතිවරණයක් නැහැ. සියයට 80ක් ඡන්දපොළට එනවා. මේ ප්‍රමාණය ඡන්ද පොළට එන්නේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී. නමුත් මේ ප්‍රතිඵලය දිහා ඉඳගෙන ජනාධිපතිවරණය බලන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා සහ අපේ පැත්තෙන් ගෝඨාභය මහතා හෝ වෙන නම් කිහිපයක් තියෙනවා. ලංකාවේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 156යි. මේකට 2018 ඡන්ද ලේඛනයෙන් ලක්ෂ තුනකුත් 2019න් ලක්ෂ තුනකුත් එකතු වෙනවා. අද ඉඳන් දවස් 437 යි. එතකොට ඡන්ද ලක්ෂ 162ක් තිබෙනවා. මින් සියයට 20ක් ඡන්දය දෙන්නේ නැහැ. එතකොට ඡන්ද ලක්ෂ 130ක් ඡන්දපොළට යනවා. ඒකෙන් කවුරු ජනාධිපති වුණත් ලක්ෂ 65ක් ගන්න ඕන. මේ 65 ගන්න ශ්‍රීලනිපයේ ඡන්ද ලක්ෂ 14යි. මෛත්‍රිපාල මහතාට ජනාධිපති වෙන්න අවශ්‍ය නම් තවත් ඡන්ද ලක්ෂ 51ක් ගන්න ඕන. අලුතින් ඡන්ද ලක්ෂ 51ක් හොයන එක ලේසි නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ 34 ඉඳන් 65 හොයන්න ලක්ෂ 31ක් හොයන්න ඕන. ඒක හරියන්නේ නැහැ.

පොදු අපේක්ෂකයෙක් ඇවිත් මේ පක්ෂ එකතු වුණොත් ලක්ෂ 65 හොයන එක අමාරු නැහැ. 2015දී ඔබතුමන්ලා ඔය විදියටම කැට තියලා කියලා පරාජය වුණානේ?

ඒක හරි. පොදු අපේක්ෂකයෙක් ආවොත් හංසයා වගේ. හංසයාගෙන් ශ්‍රීලනිපය, එජාපය, ජවිපෙ, දෙජාස ගත්විට බලන විට රනිල් මහත්තයාගේ 34 මෛත්‍රි ජනාධිපතිතුමාගේ 14යි එකතු වුණොත් ලක්ෂ 48යි. දෙජාස 5 එකතු වුණාම 53යි. ජවිපෙ 6යි 59යි. මේ ඡන්ද එකතු වුණත් ලක්ෂ 65 ගන්න බැහැ. මේකයි දේශපාලන යථාර්ථය. ඒකයි ආණ්ඩුව ඡන්දය නොතියා මඟහරින්නේ.

සිංගප්පූරු ගිවිසුම ගැන ඔබතුමන්ලා ලොකු අරගලයක ඉන්නවා. ජනාධිපතිතුමා මේ ගැන සොයන්න කමිටුවක් පවා පත් කරලා. ගිවිසුම් ගහන්න පෙර එහි ඇතුළාන්තය නොසොයන්නේ ඇයි? ඒනිසා නේද හැම ප්‍රශ්නයක්ම?

ඒක තමයි ලොකුම ප්‍රශ්නය. මේ ගිවිසුම විපක්ෂයෙන් හම්බවෙලා තිබුණේ විපක්ෂ නායක කාර්යාලයට විතරයි. බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒක හයිජැක් කරගත්තා. අපිට ආණ්ඩුවෙන් මේ ගිවිසුම අද වෙනකම් දීලා නැහැ. අපි මේ ගැන අඛණ්ඩ අරගලයක් කළා. මේ ගිවිසුම අනුව භාණ්ඩ 4000ක් බදුවලින් නිදහස් කළා. ඒ භාණ්ඩ අතරේ සත්තුන්ගේ ශුක්‍රාණු පවා තියෙනවා. ඒ අරමුණ මොකක්ද කියා මම දන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වසර 100කට වඩා පැරණි පුරාවිද්‍යාත්මක භාණ්ඩ පවා බද්දෙන් නිදහස්. රටේ පස් ටික පවා ගෙනියන්න පුළුවන්. සිංගප්පූරුව වගේ රටක් දිග ඉතිහාසයක් තිබෙන රටක් නෙවෙයි. සිංගප්පූරු ගිවිසුම, ඉන්දියාව සමඟ අස්සන් කරන්න හදපු ගිවිසුම රටේ ස්වාධීනත්වය නැති කරන්න හදපු ගිවිසුම්. මේවා හරහා වරාය, ගුවන් තොටුපොළවල් දෙන්නේ මෙහෙයුම් විතරක් නොවෙයි. නමුත් සිංගප්පූරු ගිවිසුම හරහා රටේ මුළු ආත්මයම පාවා දෙන්න මේ ආණ්ඩුව ක්‍රියා කරලා.

රටේ උද්ඝෝෂණ රැල්ලක් දකින්න පුළුවන්. මේ උද්ඝෝෂණ පිටුපස ඒකාබද්ධ විපක්ෂය ඉන්නවා කියන කාරණාව හේතු සාධක ඇතිව ආණ්ඩුව පෙන්නුවා. ඇයි මෙහෙම ඩබල් ගේම් ගහන්නේ?

අපි කිසිම ඩබල් ගේම් ගහන්නේ නැහැ. කෝච්චි වර්ජනය අපි මෙහෙයවූවා කියා ආණ්ඩුව කියනවා නම් මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒක විසඳුවා කියලාත් කියන්නත් පුළුවන්නේ. මේවා දේශපාලනික විහිළු. දුම්රිය වර්ජනය එනකොට ආණ්ඩුවේ මුදල් ඇමැති කිව්වේ අපි සාකච්ඡා කරන්නේ නැහැ කියලායි. මේ අසංවේදී බව නිසයි ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. දැන් ගුරුවරු කියනවා උත්තරපත්‍ර බලන්නේ නැහැ කියලා. මොකද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්න දන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම රටක් පාලනය කරන්න බැහැ. සේවක හඬටත් කන්දිය යුතුයි. මේ ආණ්ඩුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය රජයේ මුද්‍රණාලයේ අච්චු ගහන්නේ නැතිව පෞද්ගලික මුද්‍රණාලයකට ඒක දෙනවා. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් එහෙම දේවල් වුණේ නැහැ. ලේ බැංකුවේ වැඩ නවතිනවා. මේවා වෙන්නේ ඒකාබද්ධය නිසා නෙවෙයි. මේ ආණ්ඩුවේ දුර්වල පරිපාලනය නිසායි. මේ ආණ්ඩුවේ සැලසුමක් නැති අසංවේදී බව නිසායි. මේ ආණ්ඩුවට තීන්දු ගන්න නායකයෝ නැහැ. ආණ්ඩුවේ සමඟියක් නැහැ. මේ නිසා මේ ආණ්ඩුව රටත් රටවැසියාත් අමාරුවේ දාලා ඉවරයි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon