වත්තක් බදු ගත්තාට ජීවිත වන්දියක් ගෙවන්න මාලගමුවට සිදුවෙයිද?

  👤  3125 readers have read this article !
By mawbima 2018-08-19

ඩිලන්ත මාලගමුව කිව්වොත් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම පුද්ගලයකුම වගේ හඳුනනවා. ඒ නම එහෙම හඳුනන්නේ ඔහු මෝටර් රථයෙන් ලෝකයක් ජයගෙන ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් ගෙන දෙන හින්දම නොවෙයි. ඔහු ළඟ කිසිවකු ළඟවත් නොමැති මනුස්සකමක් තිබෙන හින්දයි. සියලුම ශ්‍රී ලාංකික පිරිස ඔහුට දක්වන ගෞරවය හා ආදරය නිසාම "නිහතමානී ශ්‍රී ලාංකිකයෝ" කියලා ඔහුගේ මෝටර් රථයේ සඳහන් කර තියෙන්නෙත් ඔහුගේ මේ නිහතමානීභාවය හින්දම වෙන්න ඇති.

කොහොම වුණත් මෙම අපූරු, අව්‍යාජ, නිහඬ, සැහැල්ලු චරිතයටත් මරණ තර්ජන එනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් බදු පදනම මත ඉඩමක් මිලදී ගෙන ඇති ඩිලන්ත මාලගමුවට එම මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකුගෙන් එල්ල වී ඇති මරණ තර්ජනය පිළිබඳව මාලගමුව අපට කිව්වේ මෙහෙම දෙයක්.

"මම ඔය වත්ත ගත්තේ අවුරුදු පනහක් ගිවිසුම් ගහලයි. අවුරුදු 15ක් නොකඩවා මම ඔය ඉඩමට බදු ගෙවලා තියෙනවා. ඒ සියලුම ලිපි ලේඛනත් මගේ ළඟ තියෙනවා. එහෙම බදු ගෙවාගෙන ඉන්නකොට ඔය කියන මනුස්සයා මට වත්ත කරගෙන යන්න ඉඩ දෙන්නේ නැතිව මට මරණීය තර්ජනය කරපු නිසා මම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා"

මාලගමුව ඒ වත්තට බදු ගෙවා තිබියදීත් මේ සිද්ධියට සම්බන්ධ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා විසින් මෙම ඉඩම ඔහුගේ ඥාතියකුට ලියා දී ඇති බව පැවැසෙන නිසා ඒ සම්බන්ධයෙන්ද අපි මාලගමුවගෙන් විමසීමක් කළෙමු.

"මම බදු ගෙවමින් ඉන්න අතරතුරේදී ඔය මනුස්සයා ඔය වත්තේ ලක්‍ෂ 300ක් වටිනා ගස් කපලා තිබුණා. අනිත් එක එයා මේ වත්ත එයාගේ ඥාතියකුට ලියලා දීලලු. මමත් එක්ක ගිවිසුම් ගහලා තියෙද්දී එයා කොහොමද ඕවා කරන්නේ. මේවා හොයලා බලන්න කවුරුත් නැද්ද? හොරෙන් ගස් කපනවා කියන්නේ ලොකු වැරැද්දක්. ඒ වගේම යම් කෙනකු එක්ක නියමිත කාලයක් සඳහා බදු ගිවිසුම් ගහලා තියෙද්දී වෙන කාටවත් ඉඩමක් විකුණන්නෙ කොහොමද? ඒක නිසා මේ පිළිබඳව සොයා බලන්න කියලා මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළා. එතුමා ඒ ගැන වහාම පරීක්‍ෂණයක් සිදුකරන බවත් මට කිව්වා.

"මගේ අම්මට මේවා බලන්න දැන් බැහැ. එයා දැන් වයසයි. ඒ වගේම මගේ බිරිය ඉන්නේ ජපානයේ. එයා කවදාවත් මේවා සොයන්න එන්නේ නැහැ. නංගි තමයි මේ පිළිබඳව ටිකක් හරි සොයලා බැලුවේ. ඇයි මට මේ වගේ අසාධාරණකම් කරන්නේ. කොහොම වුණත් මම මේ අසාධාරණය කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා" කියලා ඩිලන්ත අපට කිව්වා.

කෙසේ වෙතත් ඇති වී ඇති තර්ජන හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩිලන්ත මාලගමුව මහතාට පොලිස් ආරක්‍ෂාව සපයා ඇති බවද වාර්තා වුණා.

විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon