CIDය මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීම රටම හෙළා දකිනවා

  👤  3169 readers have read this article !
By mawbima 2018-08-17

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන විට කොටි පිස්තෝල කල්ලිය පන්න පන්නා වෙඩි තබන විට සැඟවීමට තැනක් සොයා ගැනීමට නොහැකි වූ රහස් පොලිසිය අද (17දා) දින කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම කිසිදු භේදයකින් තොරව මුළු රටම හෙළා දකින බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

කොටි හිතවාදීන්ගේ හා බෙදුම්වාදී බලවේගවල මන‍ෙදාළ සපුරාලීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට රහස් පොලිසිය ක්‍රියාකිරීම තුළින් පෙනී යන්නේ රහස් පොලිසිය මුළුමනින්ම දේශපාලනීකරණය වී තිබෙන ආකාරය බවද පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

රට බේරා ගත් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් සිරගත කරමින් ක්‍රියාකරන මෙම ආණ්ඩුවට එරෙහිව ජනතාව ප්‍රබලව නැඟී සිටීම නිසා ඒකාබද්ධ විපක්ෂය දේශපාලනමය වශයෙන් මර්දනය කිරීමට යන බවත් හිටපු ජනාධිපතිතුමාගෙන් රහස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනු ලබන්නේද එහි එක් පියවරක් වශයෙන් බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

කෙතරම් දේශපාලන වශයෙන් පළිගැනීම් සිදුකළද රට වෙනුවෙන් පෙනී සිටිමින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන අරගලය කිසිසේත්ම නතර නොකරන බවද වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon