සම්මත නීතිරීතිවලට අනුව පළාත් ඡන්දෙ තියන්න බැරිලු

  👤  2980 readers have read this article !
By mawbima 2018-08-17

රුචිර දිලාන් මධුශංඛ

නව ක්‍රමයට අනුව සියලු කරුණු සම්පූර්ණ වූ නීතියක් නැති බැවින් පළාත් පාලන පනතේ උප ලේඛන සංශෝධන නොකර පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව සම්මත කර තිබෙන නීති රීතිවලට අනුව ක්‍රියා කරන්නේ නම් පළාත් සභා ඡන්දය ජනවාරි මාසයේදී පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව ගණනාවක් සමඟ සිදුකළ සාකච්ඡාවලින් පසුව අගමැතිවරයා මෙම තීරණය දැනුම් දී ඇත.

පවතින නීති රීති අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් බහුතරයකගේ එකඟතාව මීට පෙර පළවී තිබිණි.
ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද හමුවිය.

සියලු සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් විකල්ප දෙකක් ඉදිරිපත්ව තිබේ. පක්ෂ නායකයන්ගේ බහුතර මතය අනුව පවතින නීති රීති යටතේම පළාත් සභා ඡන්දය පැවැත්වීම පළමු විකල්පය වන අතර සියලු උපලේඛන සම්මත කර සීමා නිර්ණයද සමඟින් ඡන්දය පැවැත්වීම දෙවැනි විකල්පය වී ඇති බවද කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.

උද්ගත වී ඇති තත්ත්වය අනුව ජනවාරි මාසයේ ඡන්දය පවත්වන්නේ නම් පවතින නීතිය අනුව එය සිදුකළ යුතු යැයි කිරිඇල්ල ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon