පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය රටවල් 8ක සහභාගිත්වයෙන් ලබන මස ලංකාවේදී

  👤  3051 readers have read this article !
By mawbima 2018-08-17

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඩයලොග් ආසියාටා සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වයි.

ආසියානු කලාපීය රටවල් අතර වොලිබෝල් තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ සංකල්පයට අනුව පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලියට සත්කාරකත්වය හෙබවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවීම විශේෂත්වයක් වන අතර ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 8ක් මෙයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟින් මැලේසියාව, හොංකොං සහ සෞදි අරාබිය 'ඒ' කාණ්ඩය යටතේ තරග වදින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බංග්ලාදේශය, ඉරාකය සහ මොංගෝලියාව 'බී' කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.
කෙසේ වෙතත් මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය, එම සම්මේලනයේ උපසභාපති සී.රත්නමුලදි, එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්.නාලක යන මහත්වරුන් සහභාගි වූ අතර ඩයලොග් ආසියාටා සමාගම නියෝජනය කරමින් එහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර මහත්මිය හා ස්ථාවර හා බේ‍රා්ඩ්බෑන්ඩ් ජාලයේ ප්‍රධානී නවීන් පීරිස් මහතා සහභාගී වූහ.

තවද මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය චාමර මිහිරාන් විසින් හොබවන අතර ඩෙජාන් චුලිසෙවික් ප්‍රධාන පුහුණුකරු ලෙසත් චාල්ස් තිලකරත්න හා නලින් සම්පත් අබේසිංහ සහාය පුහුණුකරුවන් ලෙසත් රොහාන් පතිරගේ කණ්ඩායම් කළමනාකරු ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය _ චාමර මිහිරාන්, ශමිල් මලින්ද සිල්වා, ජනිත සුරත්, දීප්ති රොමේෂ් රණවක, ගයාන් මධුශංක ප්‍රේමරත්න, ඒ.ඩබ්ලිව්.ලක්මාල්, ප්‍රමේෂ් ප්‍රසන්න සුදසිංහ, අයේෂ් දිල්හාන් පෙරේරා, ලසිඳු මෙත්මාල් වසන්තප්‍රිය, කසුන් චතුරංග ප්‍රනාන්දු, වසන්ත ලක්මාල්, ධනුෂ්ක දිල්ශාන් ප්‍රනාන්දු, මලිත් දිනිඳු චාමර, ෂෙහාන් විමුක්ති සාගර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon