සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් රට බේරාගන්න ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි

  👤  3162 readers have read this article !
By mawbima 2018-08-17

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා රටට සිදුවන අතිශය අහිතකර ක්‍රියාදාමය නතර කිරීමට මැදිහත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මෝටර් රථ දෙපාර්තමේන්තුව හැම මසකම රියැදුරු බලපත්‍ර 50,000ක් නිකුත් කරනවා. ඒකෙන් 30,000ක් අලුත්ම ඒවා. පසුගිය කාලේ ඒක ඩිජිටල් කළා. ඒ කළේ මෙට්ට්‍රොපොලිටන් ආයතනය හා දකුණු අප්‍රිකානු සමාගමක් එක්ක එකතු වෙලා. රියැදුරු අනතුරු ඇතුළු විනය විරෝධී ක්‍රියා අඩු කරන්නයි එහෙම කළේ. ඒක හොඳ දෙයක්. ලකුණු 24ක් හඳුන්වලා දීලා ලකුණු ක්‍රමවේදයක් ඇති කළා. මාර්ග විනය දියුණු කරන්න තමයි එහෙම කළේ.

දැන් ඒ මැෂින් එක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දීලා ඒ කොම්පැනියේ අය යන්න ගියා. එතකොට මෙය රජයට පවරාගන්න ඕනෑ. නමුත් අගමැතිතුමා සහ මලික් සමරවික්‍රම කැබිනට් පත්‍රිකාවක් දාලා මෙය කල්දානවා. ඉන් මාසයකට මිලියන 9ක් පාඩුවෙනවා. ඒ ගාණ බලධාරීන් අතර බෙදිලා යනවා කියලයි වෘත්තීය සමිති චෝදනා කරන්නෙ. දැන් රියැදුරු ප්‍රායෝගික පරීක්ෂණයත් පෞද්ගලික අංශයට දෙන්න යනවා. රජයේ පරීක්ෂකවරුන් නුසුදුස්සන්ට බලපත්‍ර දීලා තමයි අනතුරු වැඩිවෙන්නෙ කියලයි මේකට හේතුව ලෙස දන්වල තියෙන්නේ. මේවා ඔක්කොම මුදලාලිලාට දෙන්න තමයි හදන්නෙ. ඒ වගේම රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආයතන රජයට පවරගන්න කියලත් අපි ඉල්ලනවා.

ඒ වගේම සිංගප්පූරු ගිවිසුම කැබිනට් එකට දාපු වෙලාවේ ජනාධිපතිවරයා නිර්දේශ දුන්නෙ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට හානියක් නොවන විදියට ක්‍රියාත්මක විය යුතුයි කියලා. හැබැයි ඒක නෙවෙයි මලික් සමරවික්‍රම ඇමැතිතුමා කළේ. එතුමා දන්නා එන්.ජී.ඕ.වල කිහිප දෙනෙක් අල්ලගෙන පොඩි රචනාවක් හැදුවා. අපේ දේශීය නිෂ්පාදනවල ඇඳුම් ගලවල, නිර්වස්ත්‍රව වෙළෙඳපොළට ගෙනියන්න තමයි මලික් හදන්නෙ. ඒකෙන් අපේ දේශීය නිෂ්පාදනකරුවා පාතටම වැටෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා
දැන් බොහෝ දෙනාට බැඳුම්කර ගනුදෙනුව අමතක වෙලා. මම හිතන්නේ අමතක කරවල තියෙනවා. මරණ දඬුවම සහ විපක්ෂ නායක තනතුර ඉස්සරහට දාලා ඒක නතර කරලා. දැන් ඒ වංචාව හරහා සල්ලි ගත්තු මන්ත්‍රිවරු ගැන ජනතාවට දැනගන්න තිබ්බ අවස්ථාව නැති කරලා, මේ හොරකම යටගහන්න හදන උත්සාහයට ඉඩ දෙන්න එපා කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලනවා.

දැන් රාජිත සේනාරත්න මහත්මයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු ස්වාධීන වුණොත් අස්කරනවලු. එයා කවුද එහෙම කියන්න. එතුමට අඩුම තරමෙ පක්ෂයක්වත් නෑ. එතුමා ඉන්නෙ නපුංසක ගොඩේ.

ඒ නිසා පාට කණ්ණාඩිවලින් බලන්න එපා. ඒවගේම සැප්තැම්බර් 5 වැනිදා අපි කරන විරෝධය තුළින් අලුත් ආණ්ඩුවක් හැදීමේ ගමන පටන් ගන්නවා.
විපක්ෂ නායක තනතුර ගන්න ස්වාධීන වෙන්න යනවා කියලා කියන තීරණය ඇත්තද?

අපි මේ ගැන සාකච්ඡා කළා. එහිදී විවිධ අදහස් මතු වුණා. සමහරු කිව්වා අතේ තියෙන ආයුධ බිම තියල සටනට පනින්න එපා කියලා. මහින්ද මහත්තයා කමිටුවක් දැම්මා. එහි මතයත් එක්ක අපි ඉන්නවා. ඒක ඒ තීන්දුව ආවම බලමු.

ඔබතුමාලගේ මන්ත්‍රිවරු හිටපු ගමන් ශ්‍රී ලනිප රැස්වීම්වලට යනවා. ආයෙත් විපක්ෂයෙ කියනවා. මොකද්ද මේ විහිළුව?

අපි ගිය ඉරිදාත් මහින්ද මහත්තයාගේ ගෙදර ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට ගන්න වෑයම අත ඇරියොත් ඒක දුමින්දලාට, චන්ද්‍රිකාලට ඕනෙ දේ කළා වෙනවා. අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ. ඉතාම ඉක්මනින් අපි ආණ්ඩුවෙන් පක්ෂය එළියට ගන්නවා. ඒකයි අපි මේ කරන්නෙ.

රුචිර දිලාන් මධුසංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon