ඡන්ද එකතු කරගන්න අපි සිංහලකම බෞද්ධකම ගැන කතා කරන්නෙ නෑ

  👤  3061 readers have read this article !
By mawbima 2018-08-17

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් අනුරාධපුරයේ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අනුරාධපුර නගරය ප්‍රමුඛව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ බවත් එම සෞභාග්‍යවත් පැරැණි අතීතය ශ්‍රී ලාංකිකයන් යළිත් ගොඩනැඟීමට පෙරමුණ ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධානය කරයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීම හා ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
මහා විහාර සංරක්ෂණ වැඩපිළිවෙළ අද අපි ආරම්භ කළා. 2001 වසරේ මා අගමැති වූ කාලයේ සිට මම අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේ සමඟත් රුවන්වැලිසෑය, ඉසුරුමුණිය, මිරිසවැටිය සිද්ධස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමඟත් අනෙකුත් විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමඟත් අනුරාධපුර නගරය පිළිබඳව සාකච්ඡා කළා. අනුරාධපුරයේ උරුමය නැවත මතු කර ගැනීම එම සාකච්ඡාවල අරමුණයි. මම විපක්ෂයේ කටයුතු කරන කාලයේ අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් පැවසුවේ අප ආණ්ඩු බලය ලබාගත් පසුව මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේත් මා පැවසුවේ එතුමා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ පසුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි. මෙම වැඩකටයුතු අප ආරම්භ කළේ ඒ අනුවයි. මේ පිළිබඳව විශාල අවබෝධයක් සහිත ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා මෙම වැඩකටයුතු ඉදිරියට සිදුකරගෙන යනවා.

මහා විහාර සංරක්ෂණ වැඩපිළිවෙළ හරහා අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ උරුමය ආරක්ෂා කිරීමටයි. මල්වතු නිම්නය ආශ්‍රිතව සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූ අතර අනුරාධපුරය ථෙරවාදී බුදුදහමේ අවසන් බලකොටුව ලෙස ආරක්ෂා වෙමින් මහා විහාරය හරහා බුද්ධාගම අග්නිදිග ආසියාව පුරා ව්‍යාප්ත කෙරුණා.

එවැනි විශාල නගරයක් මෙහි පිහිටා තිබුණා. නමුත් මෙම නගරය සිංහල උරුමයක් පමණක් බව මම කියන්නේ නැහැ. ඒ වගේම මෙය බෞද්ධ පමණක් හෝ ශ්‍රී ලාංකික උරුමයක් පමණක් යැයි මම කියන්නේ නැහැ. ඇමැතිතුමාත් පැවැසූ ආකාරයට මෙය ලෝක උරුමයක්. අපේ වැඩසටහන වන්නේ එම ලෝක උරුමය ඉස්මතු වන ආකාරයට වැඩ කටයුතු කිරීමයි.

එදා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට අනුරාධපුරයට හැකි වුණු ආකාරයට අදත් අප උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව නැවතත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමටයි.

ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම සිංගප්පූරුවේ සුභානා ජුරොන්ග් සමාගම විසින් මාස එක හමාරකට පමණ පෙර අපට භාර දුන්නා. මේ වැටකටයුතු සඳහා දශකයක්, එකහමාරක් පමණ ගතවෙනවා. නමුත් අප එය සිදුකළ යුතුයි. අද මාන්තොට නොමැතිවූවත් අප කොළඹ වරාය දියුණු කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගය නුවර දක්වා ඉදි කරනවා. නුවර සිට ත්‍රිකුණාමලය දක්වාත් එය ඉදි කරනවා. අප මේ වැඩකටයුතු පිළිබඳව අධ්‍යයනය කරන්නේ අනුරාධපුර නගරය ආදර්ශයට ගනිමිනුයි.

රට දෙපස ඇති වරායන් උපයෝගී කරගනිමින් රට දියුණු කිරීමට කටයුතු කරනවා. අප අනුරාධපුර, පොළොන්නරු යුගවල මෙන් විදේශ වෙළෙ¼දාම ඇති කළ යුතුයි. රටක් ලෙස අපි දියුණු විය යුතුයි. තරග කළ යුතුයි. ආනයන අපනයනය වෙළෙ¼දාමක් ඇති කළ යුතුයි. අප පැරැණි අතීතය නැවත ගොඩනඟාගත යුතුයි.

සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් පලක් නැහැ. අපේ ආරම්භය ඇතිවුණේ මේ ආකාරයට බව මේ රටේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අවබෝධ කරගත යුතුයි. චීනයට, එංගලන්තයට, ප්‍රංශයට තම සංවර්ධනය ආරම්භ වූ ආකාරය පිළිබඳව ආඩම්බරයෙන් පැවැසීමට හැකියි නම් අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ ශිෂ්ටාචාරය ආරම්භ වූ ආකාරය පිළිබඳව ලෝකයට පැවැසිය හැකිවිය යුතුයි.

අපි ඉතිහාසය ගැන තේරුම් ගෙන රට දැනුවත් කළ යුතුයි. මේ ගත වෙන්නේ අපේ පාලන කාලයේ තුන් වන වසරයි. මේ කාලය තුළදී අපි මේ වැඩකටයුතුවලට මූලික අඩිතාලම දමා තිබෙනවා. දැන් එය ඉදිරියට ගෙන යා යුතුයි. ලංකාව යනු කුමක්දැයි අපි ලෝකයට පැවැසිය යුතුයි.

උපතිස්ස පෙරේරා, හිදෝගම - අමිල ප්‍රභාත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon