උතුරේ ඇතැම් තැන්වලින් ආයුධ මතු වුණාට නැවත යුද්ධයක් ඇති වන්නේ නෑ

  👤  3001 readers have read this article !
By mawbima 2018-08-17

මුලතිව් - ශෂිකුමාර්

මුලතිව් රාමේෂ්වරම්වලින් පැරණි ආයුධ මතු වුණාට යම් යම් තැන්වලින් ඇට සැකිලි මතු වුණාට ආයුධයක් දෙකක් තැන් තැන්වලින් හමු වුණාට නැවත උතුරේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ඇති වෙන්න ඉඩ තියන්නෙත් නැහැ යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මුලතිව් ක්‍රීඩා පිටියේ පැවැති රැස්වීමකදී පැවැසීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති බෝධිරාජ පදනමේ මෙහෙයවීමෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාලාභී කාන්තාවන් සඳහා ද්‍රව්‍ය ආධාර සහ ආබාධිත පිරිස් සඳහා රෝද පුටු බෙදා දීම සඳහා පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙසේ පැවැසීය.

මහ වරුසාවක් වැස්සට පස්සේ පොළොවේ තෙතමනය තියෙනවා වගේ උතුරු පළාතේ පැවැති තිස් අවුරුදු යුද්ධයෙන් පසු ආයුධ දෙක තුනක් හම්බ වෙන්න පුළුවන්. ඒක නැවත යුද්ධයක පෙර නිමිති හෝ ආරම්භයක් හෝ නොවෙයි. අද උතුරේ රණවිරුවන් බිහිසුණු පීඩාකාරී යුද්ධය නිමා කර සාමකාමී හමුදාවක් බවට පත්වෙලා තිබෙනවා.

උතුරේ තිබෙන රෝහල්වල ලේ බැංකු රක්ත වර්ණයෙන් පුරවන්නේ උතුරේ සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන්, රෝහල් ගතව සිටින ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතීන්ගේ ලේ දුන්නම එතැන සිංහල ද්‍රවිඩ ලේ කලවම් වීමක් සිදු නොවන්නේ දැයි මා උතුරේ දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කරනවා. අතීතයේ අපේ රට පාලනය කළ සිංහල රජවරු සරණ පාවා ගැනීම සඳහා කුමාරිකාවන් ගෙන්වා ගත්තේ ඉන්දියාවේ මදුරා පුරයෙන්. ඒ වගේම ලංකාවට වෙළෙ¼දාම සඳහා පැමිණි බොහෝ මුස්ලිම්වරු සිංහල හෝ ද්‍රවිඩ කාන්තාවන් විවාහ කරගෙන අපේ රටේ පදිංචි වුණා. එහෙම බැලුවම අතීතයේ ඉඳලම අපේ ලේ කලවම් වෙලා තිබෙනවා නේද?

අද උතුරේ සිටින සියලුම ද්‍රවිඩ දේශපාලනඥයන්ට ආරක්‍ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන්. පාර්ලිමේන්තුවේ වේවා පළාත් සභාවේ වේවා සියලුම ද්‍රවිඩ මන්ත්‍රිවරුන්ට ආරක්‍ෂක නිලධාරීන් වශයෙන් සේවය කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්. කිසිදු ද්‍රවිඩ දේශපාලනඥයකු ළඟ ද්‍රවිඩ පොලිස් නිලධාරීන් නැහැ. එය හොඳ ලක්‍ෂණයක්.

අද උතුරේ හමුදාව අත ඇත්තේ තුවක්කුව නොවෙයි. සාමයේ ඔලිව් අත්තයි. ඔවුන් තමයි අද උතුරේ රෝහල් හදන්නේ. පාසල් හදන්නේ, කෝවිල්වල පූජා කටයුතුවලට උදවු කරන්නේ. මේ වන විට නාවික හමුදාව විසින් උතුරේ වෙරළබඩ තීරයේ පොල් පැළ ලක්‍ෂයක් සිටුවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ලෝක පරිසර දිනය නිමිත්තෙන් හමුදාව විසින් යාපනය නගරයේ පැළ සිටුවීම ආරම්භ කළා. ඒ වගේම පාසල් ළමුන් සඳහා නොමිලේ පොත් පත් පාසල් උපකරණ , පාපැදි බෙදා දීමේ වැඩසටහන් පවා ආරම්භ කර තිබෙනවා. ද්‍රවිඩ ජනතාව හමුදාව ප්‍රතික්‍ෂේප කරලා නැති බව ඉන් පැහැදිලි වෙනවා.

ද්‍රවිඩ ජනතාව සාමය හා සංහිඳියාවට කැමැති සංවරකම, හින්දු සංස්කෘතියට බැඳීම් ඇති මනුස්සකම බෙහෙවින් ප්‍රදර්ශනය කරන පිරිසක් හැටියට අගය කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය වන්නේත් මනුස්සකම, සෙනෙහස, දයාව, කරුණාවයි. බොහෙවින් කටුක ජීවිතයකට හුරු පුරුදු ඕනෑම පීඩාවක් දරා ගැනීමේ ශක්තියක් ඇති ද්‍රවිඩ ජනතාව දැන් සංහිඳියාව නිසා හොඳ මාවතකට පැමිණ සිටිනවා යැයි රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම උත්සවයේදී කිරි හරක් සිය දෙනකු, උදලු තල 500ක්, අඹ පැළ 1000ක් ද බෙදා දුන් අතර එම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 50 ඉක්මවන බව මෙහිදී බෝධිරාජ පදනමේ ගරු සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon