පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225ක් රටට අවශ්‍ය නෑ

  👤  3287 readers have read this article !
By mawbima 2018-08-17

පළාත් සභා රට තුළ පවත්වාගෙන යන්නේ නම් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරු 225ක් අනවශ්‍ය බවත්, දැන් රටේ සෑම මිනිසුන් 2,418කටම මන්ත්‍රිවරයකු සිටින බවත් එය රටට දරාගත නොහැකි බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නීතිඥ උපාලි අමරසිරි සඳහන් කරයි.

උපාලි අමරසිරි මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී සභාපතිවරයා මෙසේද පැවැසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සෑම ගම්මාන 2කට හෝ 3කට ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු බැගින් පත්වුණා. මේ අයගේ එකතුව 8,436ක් පමණ වෙනවා. පළාත් සභා මන්ත්‍රිවරු 437ක්. ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕනෑ තරම් මහජන නියෝජිතයෝ ඉන්නවා. දැන් පාර්ලිමේන්තුවට 225ක් ඉන්නවා. ඔක්කොම මන්ත්‍රිවරු 9,098ක්. සෑම මිනිස්සු 2,418කටම මන්ත්‍රිවරයෙක් ඉන්නවා. මේ රටට මේ තරම් මහජන නියෝජිතයෝ දරාගන්න බෑ.

මැති ඇමැතිවරු නඩත්තුව ගැන බලද්දී පළාත් සභා තියාගන්නවා නම් මෙච්චර ලොකු පාර්ලිමේන්තුවක් වැඩක් නෑ. එහෙම නැත්නම් පළාත් සභා තියාගන්නවද කියලා තීරණයක් ගත යුතුයි.

කොහොමටත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුර 225ක් තිබුණට ආසන 225ක් පනවලා තිබුණට මේ සභා රැස්වීම්වලට විශේෂ අවස්ථාවකදී හැර 100ක් වත් එන්නේ නෑ.

මේ රට මේ විදියට විනාශ වෙලා ගිහින් තියෙන්නේ කිසිම සුදුසුකමක් නැති, මිනිස්සු පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට පත්කරලා යවපු නිසා. අපි ජනතාවට ‍ෙදාස් කියන්නේ නෑ. නමුත් මේ අය කාලෙන් කාලෙට, එක එක වේශයෙන් ඇවිත් ජනතාව රවටනවා. අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් මේවායේ වෙනස්කම් ඇති කරගත යුතුයි. සමාජ සුබසාධනය අවශ්‍ය දෙයක් තමයි. නමුත් ටකරමට, සිමෙන්ති කොට්ටයකට, කුකුල් පැටවෙකුට උත්තරීතර මහජන පරමාධිපත්‍ය උකස් ගන්න එක වැරැදියි. අපි කියන්නේ මේවා කරන්නේ බංකොලොත් දේශපාලනය.

මේක වෙනත් ආකාරයකින් මැතිවරණ අල්ලස්, මේවා කොයිතරම් දුරට සමාජගත වෙලාද කියනවා නම් අද මිනිස්සුත් අහනවා අපේ ඡන්දය දෙන්න අපිට මොනවද දෙන්නේ කියලා. ඒ මිනිස්සු හැම කෙනාම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා නැති බව ඇත්ත. ඒ මිනිස්සු දන්නේ නෑ. අපේ රටේ පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් වඩා උත්තරීතර මහජන පරමාධිපත්‍ය කියන එක. ඒක තියෙන්නේ තමන් ළඟ කියන එක.

මැතිවරණ දවසට ඡන්ද පොළට ගිහින් කතිරයක් ගහලා කාට හරි දෙන්නේ උත්තරීතරම දෙය කියන එක. බොහෝ දේශපාලකයන් ඒක අහිංසක ජනතාවට තේරුම් කරන්නෙත් නෑ. ඒක අවබෝධ වෙලා තිබුණා නම් මිනිස්සු තමන්ගේ වටිනා ඡන්දය සිල්ලරේට පාවිච්චි කරලා කිසිම සුදුසුකමක් නැති, වැඩපිළිවෙළක් නැති අය පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට, ප්‍රාදේශීය සභාවලට යවන්නෙත් නෑ.

භයානකම තත්ත්වය නම් අධ්‍යාපනයක් නැති මිනිස්සු පමණක් නෙවෙයි, සමාජයේ උගතුන්- බුද්ධිමතුන් කියන කොට්ඨාසයක් ඔවුන්ගේ මට්ටමින් අර ගම්වල අහිංසකයන් කරන දේම කරන එක. දැන් සමාජ නැඟී සිටීම අවශ්‍ය කාලයක්. අපි ජනතාවට කියනවා අවුරුදු 70ක් පුරා අපට වැරැදිලා තියෙනවා.

දවසින් දෙකෙන් මේක වෙනස් කරන්නත් බෑ. වෙන්නෙත් නෑ. මේක වෙනස් කළ යුත්තේ මේක තුළ හිඳිමින්මයි. ඇත්තටම මේක උඩුගම් බලා පිහිනන අමාරු ගමනක්. ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙන, වුවමනාවක් තිබෙන, පළපුරුද්දක් තිබෙන කණ්ඩායමක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා අපිට ඒ දේ කළ හැකියි කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon