රිමාන්ඩ් භාරයේ සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනමේ නිලධාරියාට ඇප

  👤  3081 readers have read this article !
By mawbima 2018-08-17

අමිල අබේරත්න

පශු සම්පත් සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම මඟින් පසුගිය රජය යටතේ රාජ්‍ය භාණ්ඩාගාර මුදලින් ආරම්භ කළ වතුකරයේ ළමයින්ට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් කළ සමාගමකට මිලියන 10ක මුදලක් නොගෙවා වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි සෙල්ව‍ෙදාරේ යෝගනාදන් නමැත්තා රුපියල් විසි දහසක මුදල් සහ ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

අධිකරණය මඟින් ඔහුට විදේශගතවීමට තහනම් කරනු ලැබිණි. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිනීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබූ ලිඛිත ඇප අයැදීම සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කරනු ලැබුවාය.

ජනාධිපති නීතිඥවරයා ලිඛිත ඇප අයැදීම මඟින් ඉදිරිපත් කර තිබුණේ තම සේවාදායකයා වන විත්තිකරු අවුරුදු 70ක් වයසැති අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයකින් හා සිරෝසීස් රෝගී තත්ත්වයකින් සහ හෘද රෝග තත්ත්වයකින් ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන තැනැත්තකු වන නිසා ඔහුට ඇප ලබාදෙන ලෙසය.

පෞද්ගලික සමාගමකට වංචාව කර තිබීමත් ඒ අනුව සමාගම මඟින් කර ඇති පැමිණිල්ලකට අනුව විත්තිකරුට චෝදනා ගොනුකර තිබීමත් විත්තිකරු විසින් රජයේ භාණ්ඩාගාරයේ මුදල මඟින් ක්‍රියාත්මක වෙන තොණ්ඩමාන් අනුස්මරණ පදනමේ මුදල වංචා කර නොතිබීමත් ඒ අනුව චෝදනා පොදු දේපළ ගණයට වැටීමත් ඇතුළු ඔහුගේ වයස සහ රෝගී තත්ත්වයන් ඇප දීමට හේතුවන සුවිශේෂ කරුණු බව සලකා මහෙස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටි අතර නඩුව ලබන ඔක්තෝබර් මස 9 වැනිදා කැඳවීමට නියම කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon