කතකට විවාහ පොරොන්දුවක් දී ඇගේ මෝටර් රථයත් පරිගණකයත් රැගෙන ගොස් සැඟවුණු පුද්ගලයා රිමාන්ඩ්

  👤  3176 readers have read this article !
By mawbima 2018-08-17

කුමුදු උපුල් ශාන්ත

අන්තර්ජාලය ඔස්සේ විවාහ මංගල දැන්වීමක් පළ කළ උඩහමුල්ල ප්‍රදේශයේ අවිවාහක කාන්තාවක් සමඟ මිතුදම් පවත්වා විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් ලබාදී එකී කාන්තාව සතුව තිබූ මෝටර් රථයක් හා ලැප්ටොප් පරිගණකයක් වංචා සහගතව රැගෙන ගොස් වසරකට ආසන්න කාලයක් තිස්සේ සැඟව සිටියදී මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර දෙදරු පියකු මෙම 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් විදුර පී. මංචනායක මහතා නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලුනුගල පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ඉලන්දාරි පේඩිගේ මිරංජන ප්‍රසන්න නමැත්තෙකි.

පොලිසිය පවසන්නේ පැමිණිලිකාර කාන්තාවට විවාහවීමට අවශ්‍ය සහකරුවකු සොයා ගැනීම සදහා ඉකුත් වසරේ (2017) ඔක්තෝබර් මාසයේදී අන්තර්ජාලය ඔස්සේ මංගල දැන්වීමක් පළ කර ඇති බවත් එකී දැන්වීම දුටු ඉහත සැකකරු අන්තර්ජාලය ඔස්සේම එයට පිළිතුරු ලබාදී ඇති බවත්ය.

එසේ පිළිතුරු දුන් සැකකරු අන්තර්ජාලය ඔස්සේ මාස කීපයක් තිස්සේ ඇය හා මිතුරුදම් පවත්වා ඇය හමුවීම සඳහා එකී වසරේ දිනක ඇයගේ නිවෙසට ගොස් ඇති බවත්ය.
එසේ ගිය සැකකාර පුද්ගලයා ඇය හමුවූ මුල් දිනයේදීම ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දුවක්දී ඇය සතුව තිබූ මෝටර් රථයක් හා ලැප්ටොප් පරිගණකයක් ඉතා සූක්ෂ්ම ආකාරයෙන් රැගෙන ගොස් ඇති බවද පසුව ඔහු ඇය හා පැවැත්වූ සියලු සබඳතා නවතා දමා ඇති බවද පොලිසිය පවසයි.

තමා කිසියම් පුද්ගලයකුගේ වංචාවකට හසු වූ බව දැනගත් එකී කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට ඉකුත් වසරේදී පැමිණිල්ලක් කර ඇති බවත් එකී පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය වෙයි.

මිරිහාන පොලිසියේ පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා (86478) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඔහු විවාහක දෙදරු පියකු බව අනාවරණය වන බවත් ඔහු සතුව තිබී ඉහත කී පැමිණිලිකාරියට අයත් මෝටර් රථය හා පරිගණකයද තවත් ජංගම දුරකථන කීපයක් හා සිම්පත් කීපයක්ද අත්අඩංගුවට ගත් බවත් ඔහු තවත් මෙවැනි වංචා කර ඇතිද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්ය.
සැකකරු වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් සිල්වා මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon