කේරළ ගංජා ජාවාරම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගනී

  👤  3036 readers have read this article !
By mawbima 2018-08-17

අනුරාධපුර-මහේෂ් විජේසූරිය

පොලිස් නිලධාරීන් බියට පත් කර ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරමේ නිරත වූ අධිකරණය හමුවේ විභාග වන නඩු තිහක පමණ සැකකරුවකු වන හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගේ පුත්‍රයකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් කේරළ ගංජා ග්‍රෑම් පනහක ප්‍රමාණයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලිස් වසමේ ඉකිරිගොල්ලෑවේ පදිංචිව සිටින 39 හැවිරිදි පුද්ගලයකු මැර බලය යොදාගෙන කේරළ ගංජා අලෙවියේ නිරත වන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිසිය මැළිකමක් දක්වන බවටත් ලැබුණු තොරතුරු මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ගොස් සැකකරුගේ නිවෙස වටකර අත්අඩංගුවට ගැනීම කර තිබිණි.

සැකකරු සන්තකයේ ඇති ගංජා සොයා ගැනීමට යොදාගත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිල සුනඛ කේ‍රා්රා විසින් සැකකරු නිවෙසේ කාමරයක ඇඳක් හා අල්මාරියක් අතර සඟවා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 50ක කුඩා පාර්සලය පොලිස් නිලධාරීන්ට සොයා දීමට කටයුතු කර තිබිණි.

කේරළ ගංජා පාර්සලය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සැකකරු නොබියව පවසා තිබුණේ තමන් කේරළ ගංජා ජාවාරමේ නිරත වන බවත්, මන්නාරම ප්‍රදේශයෙන් කේරළ ගංජා තොග වශයෙන් රැගෙන ඒමට පෙර ඒවා හොඳ ගංජා වර්ගයක්ද යන්න පරීක්ෂා කිරීමට කේරළ ගංජා ග්‍රෑම් 50ක ප්‍රමාණයක් රැගෙන ආ බවයි.

මැදවච්චිය පොලිස් වසමේ ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ පාතාල පාලනයක් මවා ගනිමින් සැකකරු අපරාධ රැසක් කර තිබුණු අතර ජීව අත්බෝම්බයක් සමඟ තියුණු ආයුධ රැසක් වැලි පිරවූ බෝතල් හා පොලු කිහිපයක් සමඟ ඔහු මීට පෙර මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු වසර කිහිපයකට ඉහතදී දුරගමන් බස්රථවල පැමිණෙන මගීන්ට ආහාරපාන සැපයීම සඳහා දිවා-රාත්‍රි ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය මැර බලය යොදාගෙන පවත්වාගෙන යෑම නිසා පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වසා දැමීමට කටයුතු කර තිබිණි.

සිය ආපන ශාලාවෙන් මගීන්ට ආහාර පාන ගැනීම සඳහා බස් රථ නතර නොකර ධාවනය කළහොත් ඔහුගේ මැර කණ්ඩායමක් යොදවා ලංගම හා පෞද්ගලික මගී බස්රථවලට ගල්, වැලි බෝතල් ප්‍රහාර එල්ල කිරීම කර තිබිණි. ඊට අමතරව බස්වලින් පැමිණෙන කාන්තාවන්ගේරන් ආභරණ කොල්ලකෑමට වෙනම පිරිසක් ආපන ශාලා පරිශ්‍රයේ යොදවා තිබිණි.

පුද්ගලයන්ට පහරදීම්, කොල්ලකෑම්, කපා කොටා තුවාල කිරීම් ඇතුළු සිද්ධි තිහකට පමණ මොහු අධිකරණය හමුවට පමුණුවා තිබෙන අතර පොලිස් නිලධාරීන් හිරිහැර කරන බව කියමින් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පොලිසියට විරුද්ධව පැමිණිලි ගොනු කර තිබේ.

අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, උප පොලිස් පරීක්ෂක ඩී.එම්.එම්.පී. බණ්ඩාර, නිල සුනඛ අංශයේ සැරයන් තුෂාර (31452), පොලිස් කොස්තාපල්වරුන් වන විජේරත්න (39459), සිරිමල් (62953), වැල්ලගිරිය (61274), කරුණාරත්න (61364) හා කාන්තා පොලිස් කොස්තාපල් දිල්හානි (8012) යන නිලධාරීන් වැටලීම කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon