එස්.එෆ්. ලොක්කාගේ දුරකථන පණිවුඩ ගැන සොයන්න උසාවිය නියෝග කරයි

  👤  3233 readers have read this article !
By mawbima 2018-08-17

අනුරාධපුර-මහේෂ් විජේසූරිය

වාරියපොළ බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් මෙහෙයවන බවට සැක කරන කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එස්.එෆ්. ලොක්කා නොහොත් ආර්.ඒ. ඉරෝන් රණසිංහ නමැත්තා බන්ධනාගාර සිරකුටිය තුළ භාවිත කරන බවට සැක කරන ජංගම දුරකථන ජාලයක අංක දෙකක් සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තාවක් පොලිසියට නිකුත් කරන මෙන් දිවයිනේ පිහිටි ප්‍රසිද්ධ ජංගම දුරකතන සබඳතා සපයන ආයතනයකට අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.

උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රතාප් සෙනරත් සඳුන්ගහවත්ත මහතා යටතේ ක්‍රියාත්මක පළාත් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගාල්ලගේ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එස්.එෆ්. ලොක්කා වාරියපොළ බන්ධනාගාරයේ සිට කරන හෙරොයින් ජාවාරමක් අනාවරණය කරගැනීම සඳහා අදාළ වාර්තා අවශ්‍ය බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ පළාත් වැටලීම් ඒකකය කළ වැටලීම් කිහිපයේදී වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටින එස්.එෆ්. ලොක්කා මෙහෙයවන බවට සැක කරන මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරු වූ රූමි නමැත්තා හෙරොයින් ග්‍රෑම් 106ක් හා කේරළ ගංජා ග්‍රෑම් 131ක් සමඟ අත්අඩංගුවට ගත් බවත් එස්.එෆ්. ලොක්කා බවට සැක කරන පුද්ගලයා රූමි ඇතුළු තවත් සැකකරුවන් කිහිප දෙනකුට දුරකථන අංක දෙකකින් විධානයන් නිකුත් කරමින් හෙරොයින් සැඟවීමට උපදෙස් දුන් අයුරු පොලිස් කණ්ඩායම ශ්‍රවණය කර තිබූ බවත්, නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දැනුම් දුන්නේය.

රූමි නමැත්තාට අමතරව තවත් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට ජංගම දුරකථන අංක දෙකකින් ඇමතුම් ලැබී තිබුණු බවත් ඒවා එස්.එෆ්. ලොක්කා භාවිත කරන ඇමතුම් අංක බවට සැක මතුවී තිබෙන බවත් අදාළ ඇමැතුම් දුන් සිම් කාඩ්පත්වල ලියාපදිංචි අයිතිය හා භාවිත කරන්නන් නිවැරැදිව අනාවරණය කරගැනීමට ඇමතුම් විශ්ලේෂණ වාර්තා අවශ්‍ය වී ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

අනුරාධපුර බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවීම නිසා සැකකරු වාරියපොළ බන්ධනාගාරයට මාරු කර යවා ඇතත් සැකකරු සුපුරුදු පරිදි එහි සිට හෙරොයින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

හෙරොයින් ග්‍රෑම් 124යි මිලිග්‍රෑම් 600ක් හා කේරළ ගංජා ග්‍රෑම් 131ක් ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රූමි ඇතුළු ජාවාරම්කරුවන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.බී.අයි. ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon