රට වටේ අයගෙන් මුදල් වංචා කළ බොරු මහාචාර්යවරයා දැලේ

  👤  3198 readers have read this article !
By mawbima 2018-08-17

නාත්තණ්ඩිය-සමන්ප්‍රිය ජයශාන්ත
හලාවත-ප්‍රසාද් පූර්ණමාල්

ව්‍යාජ මානව හිමිකම් සංවිධානයක් පවත්වාගෙන යමින් රට වටා සාමාජිකයන් බඳවා ගනිමින් මුදල් වංචා කළ බව කියන මහාචාර්යවරයකු පොළොන්නරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාරවිලදී ඊයේ (16දා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු පොලිස්පතිවරයා වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. පැමිණිලිකරුවන් දෙදෙනාගෙන් සැකකරු තමන් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නම්වූ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමට යැයි පවසා රුපියල් 35,000 බැගින් මුදල් ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකරු ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් පවත්වාගෙන ගියත් එය ලියාපදිංචි නොවූ එකක් බව විමර්ශනවලදී හෙළි වී ඇත. එම සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමට සහ විවිධ වැඩසටහන් සඳහා යැයි පවසා සැකකරු විසින් දිවයිනේ පුද්ගලයන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශන කටයුතු කරන නිලධාරීහු කියති. එසේ ලබාගෙන ඇති මුදල් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය නමින් ගිණුමක් විවෘත නොකර තමාගේ පෞද්ගලික ගිණුමකට තැන්පත් කිරීමට සැකකරු කටයුතු කර ඇති බවත්, එසේ තැන්පත් කරන ලද රුපියල් 2,80,00,000ක මුදලක් ඔහු බැංකු කාඩ් පත් භාවිත කරමින් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු තමන්ගේ නමට ඉදිරියෙන් මහාචාර්ය නාමයක් භාවිත කරන බවත්, එම නාමය කෙසේ ලැබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.

සැකකරු මීට පෙර සාමවිනිසුරුවන්ගේ මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇත. එම සංවිධානය විසින් දිවයින පුරා කරන ලද බව කියන මුදල් වංචා හේතුවෙන් එහි ලියාපදිංචිය අහෝසි කිරීමට රජය පියවර ගෙන ඇත. පසුව සැකකරු එම සංවිධානයේ නාමය වෙනස් කර ව්‍යාජ මානව හිමිකම් සංවිධානය පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත. පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාරවිල සහ අවට මාසයක පමණ කාලයක් කරන ලද විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරු දිවයිනේ වෙනත් ප්‍රදේශවලදී කර ඇති මුදල් වංචාවන් සම්බන්ධයෙන් සොයා බලන බවද විමර්ශන කරන නිලධාරීහු කියති. සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොළොන්නරුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි ධම්මික වීරසේකර, පොලිස් අධිකාරි තිස්ස ලලිත් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon