ඉදිරි දින කිහිපය ඇතුළත ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරනවා

  👤  3197 readers have read this article !
By mawbima 2018-08-17

බණ්ඩාරගම - ජනක හෙට්ටිආරච්චි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් උන්වහන්සේ අයත් සංඝ සභාව හැටියට ඉදිරි දින කිහිපය තුළ යම් කිසි ප්‍රකාශයක් නිකුත් කිරීමට සහ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ පවසති.

සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් ඇතුළු බොදුබල සේනා සංවිධානයේ ස්වාමින් වහන්සේ අනුනාහිමියන් බැහැ දැකීමට වාද්දුව බෝධි රාජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුනාහිමියෝ එසේ පැවැසූහ.

එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ මෙසේද පැවැසූහ.
ඥානසාර හාමුදුරුවෝ අපේ කෝට්ටේ පාර්ශ්වයට අයිති හාමුදුරු නමක්. භික්ෂුන් වහන්සේ හැටියට උන්වහන්සේට ලැබී ඇති නඩු තීන්දුව අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ එක්කම යම් වරදක් කළාම දඬුවමක් දීම සහ ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම උසාවිය සතු කාර්යභාරයක්. උසාවියේ තීන්දුව පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් මේ කාරණය තුළින් මතුවිය හැකි තවත් අතිරේක කරුණු සහ භික්ෂුවක් විදියට උන්වහන්සේට මුහුණ දිය හැකි තත්ත්ව පිළිබඳව අපි සාකච්ඡාවට භාජන කරනවා.

විශේෂයෙන් උන්වහන්සේ අයිති අපේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාව මේ පිළිබඳව දැනටමත් සැලකිලිමත් වෙමින් පවතිනවා. ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව යම් කිසි ප්‍රකාශයක් නිකුත් කිරීමට සහ අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා.

මෙහිදී අදහස් පළ කළ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියෝ
සිර දඬුවම් නියම වී සිටින ඥානසාර හාමුදුරුවෝ කෝට්ටේ පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේ නමක්. අපේ සංඝ සභාවෙන් කළ යුතු කාර්යයන් මොනවද කියා දැන ගැනීමට අපි අද අපේ කෝට්ටේ සංඝ සභාවේ අතිගරු අනුනායක හාමුදුරුවන් බැහැ දැකීමට ආවේ. තව දින කිහිපයකින් මේ පිළිබඳව විමසා බලා මහනායක හාමුදුරුවන් එක්කත් සාකච්ඡා කරලා තීන්දුවත් ගන්න බව උන්වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුණා.

බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි,
ඥානසාර හාමුදුරුවෝ රට, දැය, සමය සහ විශේෂයෙන්ම රණවිරුවෝ වෙනුවෙන් හඬ නඟපු වරදට උසාවියෙන් අද අවුරුදු දහනවයක සිර දඬුවමක් ලැබිලා තියෙනවා. උන්වහන්සේ රට දැය සමය වෙනුවෙන් කරපු සේවයට ලද ප්‍රසාද පූජාවක් වශයෙන් අපි එය සලකන්නේ. රටේ නීතියට ගරු කරන භික්ෂුන් වහන්සේලා වශයෙන් කනගාටුවෙන් වුණත් අධිකරණ තීන්දුව අපි පිළිගන්නවා. උන්වහන්සේ නිදහස් කර ගැනීම සඳහා සියලු කටයුතු අපි සිදු කරනවා.

මේ අවස්ථාවට මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon