ලංකාව එක්ක තරහවෙලා හිටිය ලෝකයේ රටවල් යාළු කරගත්තෙ අපි

  👤  3137 readers have read this article !
By mawbima 2018-08-16

2015 ජනවාරි 8දා බලයට පත් යහපාලන ආණ්ඩුව ගතවූ වසර තුන තුළ මුහුණදීමට සිදුවූ විදේශ ණය බර ඇතුළු විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ශක්තිමත් සංවර්ධනයක් සඳහා පදනම දැමීමට හැකිවීම ආණ්ඩුව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවත් ආණ්ඩුවට තෙවසර සපිරෙන මේ මොහොත 'හුස්ම ගත්ත වසර තුනක්' යනුවෙන් නම් කළේ ඒ නිසා බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුව පාලනය භාරගන්නා විට ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වා රටවල් අපට එරෙහි වී අපේ රට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අපේ රටට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයට පත්ව තිබූ බවත් එම අභියෝග ජයග්‍රහණය කරමින් ඉන්දියාවේ සිට ඇමෙරිකාව දක්වාත් චීනයේ සිට රුසියාව දක්වාත් සියලුම රටවල විශ්වාසය දිනා ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකළ අමාත්‍යවරයා රාජපක්ෂ පාලන යුගයේදී මෙරට පැවැති ජාත්‍යන්තර සමුළුවලට රාජ්‍ය නායකයන් ගෙන්වා ගත හැකිවූයේ ස්වාසිලන්තය වැනි රටවලින් පමණක් බවද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අලවතුවල මහතා මෙසේද පැවැසුවේය.
ගත වූ වසර තුන තුළ අපි ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. එම ජයග්‍රහණයන් සමඟ එතෙක් මේ රට තිබූ අයහපත් තත්ත්වය ඉවත් කර රට නිවැරැදි මාර්ගයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. අපට අහිමි වී තිබූ ජී.එස්.පී. සහනය නැවත ලබා ගැනීමට හැකි වී තිබෙනවා. එහෙත් අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා රට පුරා ගම් නියම්ගම්වල ඇඟලුම් කම්හල්ද, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නිදහස් වෙළෙඳ කලාපයන්ද ඇති කර ලබාගත් ජී.එස්.පී. සහනය අහිමිවීමෙන් ගතවූ කාලය තුළ අපේ රටට සිදු වූ පාඩුව පිරිමසාගන්න අපට හැකියාවක් නැහැ. එසේම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගන්නත් අපට හැකිවුණා. හුස්ම ගත්ත වසර තුනක් යනුවෙන් ආණ්ඩුවේ තෙවැනි සමරුව නම් කළේ ඒ නිසායි.

රාජපක්ෂ පාලන යුගයේ අපේ මාධ්‍යවේදීන් අතුරුදන් කළා. පැහැරගෙන ගොස් පහර දුන්නා. මහ දවාලේ මහමඟ ඝාතනය කළා. මාධ්‍යායතනවලට පහරදී ගිනි තැබුවා. මේ නිසා මාධ්‍යවේදීන් රැසක් රට හැර ගියා. රතුපස්වල ජනතාව බීමට වතුර පොදක් ඉල්ලන විට හමුදාව යොදවා පාසල් සිසුන් ඝාතනය කළා. සේවක අර්ථසාධක අරමුදල බේරා ගැනීමට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන් උද්ඝෝෂණය කරන විට වෙඩි තබා ඝාතනය කළා. ඉන්ධන මිල අඩුකරන ලෙස හලාවත ධීවරයන් උද්ඝෝෂණය කරන විට වෙඩි තබා මරා දැමුවා. යුද්ධය අවසන් වූ පසු ඉන්ධන මිල අඩු කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණය නියෝග කළත් එය තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ.

අද ජනතාවට විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි, වර්ජන කරන්න නිදහස ලබාදී තිබෙනවා. ඒත් එදා වගේ සුදු වෑන්, අතුරුදන් වීම්, වෙඩි තබා ඝාතනය කිරීම් මේ ආණ්ඩුව යටතේ සිදුවන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව බලයට පැමිණ සහන රැසක් ලබාදී තිබෙනවා. ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කළා. පසුව ඉන්ධන මිල වැඩි කළත් රාජපක්ෂ යුගයේ පැවැති මිල ඉක්මවා ගියේ නැහැ. ත්‍රීවීලර් එකක් දවසට පෙට්රල් ලීටර් 6ක් පාවිච්චි කරනවා නම් මේ අවුරුදු තුනට ඒ අයට රුපියල් ලක්ෂ 2කට වැඩි ඉතිරියක් තියෙනවා. මෝටර් සයිකල් ගත්තත් එහෙමයි.

ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප අපි රුපියල් දහදාහකින් වැඩි කළා. ඒ වගේම රුපියල් 14,375ක් වූ රජයේ සේවක අවම වැටුප ඒ වගේ දෙගුණයක් එනම් රුපියල් 29,750 දක්වා 2020 වන විට වැඩි වීමට අපේ ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අතිකාල සහ වෙනත් දීමනාද වැඩි වෙනවා. රුපියල් 51,512ක් වූ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 69,756 දක්වා වැඩි වෙනවා. මේ සඳහා රජයට රුපියල් බිලියන 2,000ක අතිරේක මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ වැටුප්ද යම් ප්‍රමාණයකින් වැඩි කිරීමට අපට හැකිවුණා.

රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු 2020 වන විට අවසන් කරනවා. හම්බන්තොට අධිවේගී මාර්ගය මෙන්ම දුම්රිය මාර්ගයද ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. අධ්‍යාපනයේ හා සෞඛ්‍ය අංශයේද විශාල ප්‍රතිසංස්කරණයන් සිදු කෙරෙනවා. ඔෟෂධ මිල සියයට 50කින් පමණ අඩුකර තිබෙනවා. ඒ වගේම බාහිරව නොපෙනුණාට 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් විශාල සේවයක් ඉටුකෙරෙනවා. සමෘද්ධි දීමනාව රුපියල් 1,000 සිට 3,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. සමෘද්ධිය ලැබිය යුතු එහෙත් පසුගිය කාලයේ අසාධාරණයට ලක්වූ පවුල් ලක්ෂ 2කට අපි සමෘද්ධි හිමිකම් මේ වසර තුළ ලබා දෙනවා. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමසේවා කොට්ඨාස 14,044ක මාර්ග වැව් අමුණු, පාසල්, ආගමික ස්ථාන වැඩිදියුණු කරන්න පියවර ගෙන තිබෙනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon