තමන්ගේ රෝද පුටු අනුන්ට දී කිහිලිකරුවෙන් යන සෝමදාස

  👤  3206 readers have read this article !
By mawbima 2018-08-16

දමුණුපොළ - චමින්ද ජයලත්

උපන් දා සිට පවතින දෙපයේ ආබාධයට ශක්තියක් වෙමින් නොමිලේ ලැබුණු රෝද පුටු දෙකක් තමාටත් වඩා ගමන් අපහසු අසරණ පුද්ගලයන් දෙදෙනකුට පසුගියදා පරිත්‍යාග කළ අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල දික්ඇල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. මේ වයෝවෘද්ධ පුද්ගලයා සොයා පසුගිය දිනක අපි කෑගල්ල පරගම්මන උඩදෙණිය ග්‍රාමයේ කොසු ඉදල් නිෂ්පාදනය කරන ස්ථානයකට ගියෙමු. ඔහු නමින් ඩබ්ලිව්.ඒ. සෝමදාසය. වයස අවුරුදු 72ක් වූ ඔහු අවිවාහක තැනැත්තෙකි.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානන්ගල වත්තේ කාමරයක උපත ලැබූ සෝමදාස සහෝදර සහෝදරියන් 11 දෙනකුගෙන් යුතු පවුලේ පස්වැනියා ලෙස උපත ලබා ඇත. මානන්ගල වත්තේ සිය මවුපියෝ රබර් කිරි කැපීම නිසා ඔවුන්ට එහි නිවෙසක් ලැබී තිබිණි. සෝමදාසගේ පවුලේ සහෝදර සහෝදරියන්, විදුහල්පති, හෙද නිලධාරිනියන්, සුළු සේවකයන්, ගුරුවරියන් හා මේසන් බාස්වරු ලෙස සේවය කරති.

සෝමදාසගේ මවුපියන් හට මානන්ගල වත්තේ රබර් කිරි කැපීමෙන් ලැබුණු මසක ආදායම වූ රුපියල් 2.50 මුදලින් මෙම දරුවන් 11 දෙනා පාසල් යවා පෝෂණය කර ඇත.

වෝල්ටර් ජිනදාස මහතාගේ මූලිකත්වයෙන් 1948 වර්ෂයේදී කෑගල්ල දික්ඇල්ල වත්තේ රබර් ඉඩමෙන් අක්කර දෙකහමාරක් දී ඔවුන් පසුව එහි පදිංචියට පැමිණ ඇත. පසුව සෝමදාසගේ මවුපියන් දික්ඇල්ල රබර් ඉඩමේ නිවෙසක් තනාගෙන දරුවන් සමඟ ජීවත් වූ අතර සහෝදර සහෝදරියෝ දැනට ඒ අවට නිවාස තනාගෙන ජීවත් වෙති.

සෝමදාස මහතාගේ පාද දෙකම උපතින්ම නිසි අයුරින් පිහිටා නොමැති අතර පසුව ඔහුගේ මවුපියන් කුඩා කල කොළඹ ජාතික රෝහලෙන් ඔහුට ප්‍රතිකාරද ලබාදී තිබිණි.
ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වෛද්‍යවරු, මවුපියන්ට ප්‍රකාශ කර ඇත්තේ මාස දෙකකට පසු සිය දරුවාට යකඩ සපත්තු යුවළක් පැලඳවීමට ඇති බවත් යළි කොළඹ මහ රෝහලට පැමිණ එය සවිකර ගන්නා ලෙසත්ය.

එය ලියා තිබුණේ ඉංග්‍රීසියෙනි. ඉංග්‍රීසියෙන් ලියා දී තිබූ කොළ කැබැල්ල, මවුපියෝ තේරුම් ගෙන නොතිබිණි. පසුව සෝමදාස මහතා කෑගල්ල බෙරගල විද්‍යාලයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වීමෙන් පසු කළුතර අගලවත්ත රබර් තේ පර්යේෂණාගාරයේ ලිපිකරු තනතුරකට ඉල්ලුම් කළද උපතින්ම පැවැති ආබාධය නිසා රැකියාව අහිමි වී තිබිණි.

පසුව වසර 3 පමණ කාලයක් සිය ගමේ, දික්ඇල්ලේ සමුපකාරයේ කළමනාකරු ලෙසත් පොළොන්නරුව වැවේතැන්න ප්‍රදේශයේ වී ගබඩාවක කළමනාකරුවකු ලෙසත් සේවය කිරීමෙන් පසු වසර 35ක කාලයක් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ ලියවන පට්ටලයක සේවය කළේය. එහිදී 1996 වර්ෂයේදී වම් කකුල මතට ට්‍රැක්ටරයක ‍ෙදාරක් ගැලවී වැටීමෙන් අස්ථි බිඳී තවත් ජීවන ගමන අඩාල වූ බව පැවැසුවේ අතීතය සිහිගන්වමිනි.

දැනට සෝමදාස සහෝදර සහෝදරියන් සමඟ දික්ඇල්ල ප්‍රදේශයේ පදිංචි සිටි ඊට මීටර් 600ක් දුරින් පිහිටි උඩදෙණියේ කොසු ඉදල් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක වසර තුනහමාරක පමණ සිට සේවය කරයි. මොහුගේ මෙම ආබාධය හේතුවෙන් රජය මඟින් පසුගිය කාලයේ රෝද පුටු දෙකක් පරිත්‍යාග කළ අතර එම රෝද පුටු දෙකම බුළුරුප්ප හා කෑගල්ල ප්‍රදේශයේ ඔහුටත් වඩා ගමන් අපහසු පුද්ගලයන් දෙදෙනකුට ප්‍රදානය කෙළේය.
දැනට කොසු ඉදල් නිෂ්පාදන ආයතනයෙන් උදේ දවල් සවස තේ කෑම බීම හා දිනකට රු. 200 මුදලක් ලබාදෙන බව පැවැසුවේය. මොහුගේ රෝද පුටු පරිත්‍යාගය අන් අයටද උතුම් ආදර්ශයක් බව ප්‍රදේශවාසීහු කියති.

ඩබ්ලිව්. ඒ. සෝමදාස මහතා මෙසේ පැවැසීය.

මම පදිංචි වෙලා ඉන්න ගෙදර ඉඳලා ප්‍රධාන මාර්ගය දිගේ වැඩපළට එන්න මීටර් 600ක් පමණ තිබෙනවා. මම උදේ 6.00ට ගෙදරින් එනවා. මට මේ මීටර් 600 එන්න පැයක් ගතවෙනවා. ආපසු 4.00ට වැඩ ඉවර කරලා ගෙදර යනවා. වැඩපොළෙන් මට උදේ කෑම, 10.00 තේ, දවල් කෑම , සවස තේ දීලා රු. 200 කුත් මට දෙනවා. මම විවාහවෙලා නැති නිසා ඒ මුදල්වලින් කොටසක් සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට දෙනවා. මටත් විදයම් වෙනවා. මගේ ගමන් අපහසුතාව දැක පසුගිය කාලයේ මට රෝද පුටු දෙකක් ලැබුණා. ඇත්තටම මට පයින් යන්න එන්න අමාරුයි අත්වාරුවක් නැතිව. එහෙත් මට වඩා අසරණ පුද්ගලයන් දෙදෙනකුට ඒ රෝදපුටු දෙක දුන්නා. ඒක මට ලොකු සතුටක්.

සෝමදාස මහතාගේ දුරකථන අංකය 0717874515

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon