උතුරේ දේශපාලනඥයන් නන්දිකඩාල්වලට එන්නේ පහන් පත්තු කරන්න විතරයි

  👤  3228 readers have read this article !
By mawbima 2018-08-16

මුලතිව් ශෂිකුමාර්

ශ්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත්වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පැවැත්වුවද උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා පවත්වා හෝ ආණ්ඩුවට හෝ පළාත් සභාවට බලපෑම් නොකරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැසීය.

මුලතිව් සංවර්ධන කමිටු සාමාජිකයන් සමඟ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති රැස්වීමේදී උතුරු පළාත් ආණ්ඩුකාවරයා මෙසේ පැවසූ අතර මෙම රැස්වීමට පැමිණි මුලතිව් සංවර්ධන කමිටුවේ නියෝජිත අන්තෝනි කෘෘස් මහතා හැඬූ කඳුළින් මෙසේ පැවැසීය.

"උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දුප්පත්ම හා අසංවර්ධිත දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයයි. මේ දිස්ත්‍රික්කයේ අඩුපාඩුකම් හොයන්න බලන්න කිසිම ද්‍රවිඩ දේශපාලනඥයෙක් එන්නේ නැහැ. මුලතිව් නන්දිකඩාල්වලට උතුරේ දේශපාලනඥයන් එන්නේ පහන් පත්තු කරන්න විතරයි. උතුරේ දේශපාලනඥයන් ප්‍රදේශය සංවර්ධනය වෙනවාට අකැමැතියි. ප්‍රදේශය සංවර්ධනය වුණාම උතුරේ දේශපාලනඥයන්ට ජාතිවාදය පතුරවන්න බැහැ" යැයි පැවැසීය.

ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
"උතුරේ ධීවර විශ්වවිද්‍යාලයක් හදනවා නම් සුදුසුම ස්ථානය මුලතිව් ප්‍රදේශයයි. මුලතිව් නගරයේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය සඳහා අවශ්‍ය සියලුම සැලසුම් නිර්මාණය කර තිබුණත් අද වන විට එය අතරමඟ නගර වී තිබෙනවා. ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර විසඳුම් ලබාදෙන බවට අද මෙහිදී මා පොරොන්දු වෙනවා.
මුලතිව් දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය යා කෙරෙන කෝකිලායි කළපුව මතින් ඉදිකිරීමට යෝජිත පාලම කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සකස් වෙමින් තිබෙනවා.

දකුණේ බොහෝ නිලධාරීන් හා වෛද්‍යවරුන් මුලතිව්වල සේවයට එන්න බලවත් ලෙස අකැමැත්ත පළ කරන්නේ දිස්ත්‍රික්කයේ පවතින අඩුපාඩුකම්, පහසුකම් නොමැති වීම නිසා බව සොයාබැලීමේදී මා හට අවබෝධ වුණා. මුලතිව් රෝහලේ පවතින අඩුපාඩුකම් පිළිබඳවද මෙහිදී සඳහන් කළා. මා ඒ පිළිබඳවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට මා මුලතිව් ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ ඔබ සියලු දෙනාගේම පැමිණීම හා සහයෝගය අපේක්ෂා කරනවා. මා උතුරු පළාතේ ජනතා සේවකයෙක් මිස ආණ්ඩුකාරවරයා නොවන බවද ඔබ සැම මතක තබාගත යුතු යැයි මා මෙහිදී සිහිපත් කරනවා."

මෙහිදී මුලතිව් සංවර්ධන කමිටුවේ සභාපති, ලේකම් මෙන්ම පැමිණි නියෝජිතයන් බොහෝ දෙනකු පැය දෙකකට ආසන්න කාලයක් තම ප්‍රදේශයේ අඩුපාඩු පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාව දැනුවත් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon