පාසල් සිසුන් බිය වද්දා මුදල් කොල්ල කෑ තරුණයෙක් පොලිස් දැලේ

  👤  3228 readers have read this article !
By mawbima 2018-08-16

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අමතර පන්ති සඳහා අනුරාධපුර නගරයට පැමිණි පාසල් සිසුන් දෙදෙනකුගේ ගමන් මඟ අහුරා බිය ගන්වා සිසුවකු සතුව තිබූ රුපියල් 15,000ක මුදලක් කොල්ල කා පලාගිය මතට ඇබ්බැහි වූ තරුණයන් දෙදෙනකුගෙන් එක් සැකකරුවකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (15දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොලිස් වසමේ යසසිරිපුර පදිංචි 17 හැවිරිදි උසස් පෙළ සිසුවකු විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව 17 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට පාසල් අධ්‍යාපනය අවසන් කර මත් පෙති හා මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින අයකු බවත් ඊට මුදල් සොයා ගැනීම සඳහා කොල්ලකෑම් හා පාසල් සිසුන්ගෙන් කප්පම් ගන්නා බවත් පොලිසිය පැවැසුවේය.

සැකකරු තවත් සැකකරුවකු සමඟ යතුරුපැදියකින් පැමිණ අනුරාධපුර යොවුන් නිකේතන මාර්ගයේ ගමන් කළ සිසුන් පිරිසකගේ මඟ අහුරා "ගනිල්ලා පර්ස් ටික එළියට" කියා ඔවුන්ගේ මුදල් පසුම්බි පරීක්ෂා කර පැමිණිලිකාර සිසුවාගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් 15,000ක මුදල කොල්ලකා පලාගොස් තිබිණි. පැමිණිලිකාර සිසුවා අමතර පන්ති මුදල් ගෙවීමට හා ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමට මෙම මුදල ගෙනැවිත් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon